පාර්ලිමේන්තුවේ 60 පැනපු අය ගෙදර යැවීමේ තීරණයක්

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ සාමාජිකයන්ද එළඹෙන දෙසැම්බර් මස 31 වනදා විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ පිරිසක් විශ්‍රාම යෑමේ අවම වයස 65 දක්වා දීර්ඝ කර ගැනීමට පසුගිය දිනවල උත්සාහයක නිරතව සිටි බවට වාර්තා වුණා.

මේ අතර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ වයස 60 සම්පූර්ණවූ සාමාජිකයන්ට තමන්ගේ කැමැත්ත පරිදි ලබන දෙසැම්බර් මස 31 වෙනිදා හෝ ඊට පෙර විශ්‍රාම ගත හැකි බව පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) තච්චනා රාණි විසින් විශේෂ චක්‍රලේඛයක් පසුගිය 21 වනදා දාතමින් යුතුව නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

විශ්‍රාම ගැනීමට නියමිත නිලධාරීන්ට එමගින් දන්වා ඇත්තේ විශ්‍රාම ලිපි ගොනු සකස් කිරීම සඳහා අවශ්‍ය ලේඛන ආයතන කාර්යාංශය වෙත බාරදෙන ලෙසයි.

මේ අතර පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වයස අවුරුදු 50 ට එලඹීමෙන් අනතුරුව අවුරුදු 60 ට පෙරාතුව විශ්‍රාම යෑමට අදහස් කරන්නේ නම් විශ්‍රාම යෑමට අපේක්ෂා කරන දිනට මාස හයකට පෙර ඒ බව ලිඛිතව දැනුම්දී කතානායකවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බව පරිපාලන අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

POPULAR

Recent articles