දිගින් දිගටම බේකරි වැසේ

පාන් පිටි, බිත්තර ඇතුළු බේකරි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහල යාම සහ ඒවායේ පවතින හිඟය හේතුවෙන් රටපුරා පාන් බේකරි 2000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි පැවසෙනවා. මේ බව කියන්නේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන යි.

පාන් පිටි ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් ඈත දුර බැහැර ප්‍රදේශවල පාන් බේකරි සියල්ලම පාහේ වැසී ගොස් ඇතැයි ඔහු කියනවා. මෙලෙස බේකරි වැසී යාමෙන් එම කර්මාන්තය ආශ්‍රිතව ජීවත් වූ ලක්ෂයකට වැඩි පිරිසක් සිය ජීවනෝපාය අහිමිවීමෙන් අසරණභාවයට පත්ව සිටින බවයි සභාපති එන්.කේ. ජයවර්ධන පවසන්නේ. ඒ සමඟම බේකරි කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයූ ආයතන ගණනාවක්ද වැසී ගොස් ඇතැයි ඔහු කියනවා.

මේ අර්බුදය හමුවේ දැනට පවත්වාගෙන යන්නේ මහා පරිමාණ බේකරි ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් බවත් පාන් පිටි නිෂ්පාදන සමාගම් එවැනි මහ පරිමාණ බේකරිවලට පමණක් පාන් පිටි බෙදාහරින හෙයින් දුෂ්කරතා මධ්‍යයේ වුව ඒවා මෙලෙස පවත්වාගෙන යන බවයි ඔහුගේ අදහස වන්නේ.

දකුණු පළාත් කුඩා සහ මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා පවසන්නේ බේකරි වැසී යාම හේතුවෙන් දකුණු පළාත් සංචාරක කර්මාන්තයටද බලපෑමක් එල්ල වී තිබෙන බවයි. හෝටල් වල සිටින විදෙස් සංචාරකයන්ට පාන් පිටි හිඟය නිසා සැන්ව්ච්, පේස්ට්‍රි වැනි ආහාර ද්‍රව්‍ය සැපයීමට නොහැකිවීමෙන් කුඩා හා මධ්‍යම පරිමානයේ සංචාරක කර්මාන්තය ද මේ වනවිට බරපතළ තැනකට ඇද වැටී ඇති බව ඔහු පවසනවා.

පාන් පිටි ගැටලුව නිසා දකුණු පළාතේ බේකරි වලින් 60%ක් පමණ වැසී ගොස් ඇතැයිද ඔහු සඳහන් කරනවා.

POPULAR

Recent articles