ඉන්දියාවෙන් වඳුරු උණ මරණයක්?

‘වඳුරු උණ’ (monkypox) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මියගිය එම තරුණයා සම්බන්ධයෙන් කේරළ සෞඛ්‍ය බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, තරුණයා ‘වඳුරු උණ’ (මංකිපොක්ස්) ආසාදිතයකු බව තහවුරු වුවහොත්, ඉන්දියාවෙන් වාර්තා වන පළමු ‘වඳුරු උණ’ මරණය මෙය වනු ඇති.

තරුණයාගේ මරණය සැලවුණු සැණින්, කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිනී වීනා ජෝර්ජ් මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශණයක් වහා සිදු කරන්නැයි උපදෙස් දී තිබෙනවා. ඒ අනුව, මියගිය තරුණයාගේ පටක සාම්පල පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.

මෙම තරුණයා විදේශගතව සිට කේරළයට පැමිණි අයකු වන අතර, ඔහුට ‘වඳුරු උණ’ ආසාදනය වූයේ නම් එය සිදුවන්න ඇත්තේ විදේශගතව සිට පැමිණෙන අතරතුරේ බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කරනවා.

ඉන්දියාවෙන් මේ දක්වා ‘වඳුරු උණ’ ආසාදිතයන් සිවු දෙනකු හමුවී ඇති අතර පළමු වඳුරු උණ ආසාදිතයා පූර්ණ සුවය ලබා සිටින බව ද පැවසෙනවා.

‘වඳුරු උණ’ වයිරසය ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කරමින් මේ වනවිට රටවල් 78 කට ව්‍යාප්ත වී ඇති අතර ආසාදිතයන් 18,000 කට වැඩියෙන් වාර්තා වී තිබේ. ඇමෙරිකාවේ කැලිෆෝනියා සහ නිව්යෝක් යන නගර ද ‘වඳුරු උණ’ හේතුවෙන් හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මිට අමතරව අප්‍රිකාවෙන් පිට ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙන් ‘වඳුරු උණ’ මරණ ද වාර්තා වනවා. ඒ, ස්පාඤ්ඤයෙන් මරණ දෙකක් සහ බ්‍රසීලයෙන් එක් මරණයක් ආදී වශයෙනි.

POPULAR

Recent articles