”හාල් විස නෑ, ඒක බොරුවක්” – වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්

වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට පුවත්පත් දෙකක පළ වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වන ලසන්ත රත්නවීර පවසා තිබෙනවා. මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවත් ඔහු පවසනවා.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක් උපයෝගි කර ගනිමින් මාධ්‍ය එම පුවත සකස්කර ඇති බව ත්, එසේ වුව ද එහි අන්තර්ගත කරුණු ද දෝෂ සහිත අතර මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වන ලසන්ත රත්නවීර පවසනවා. ඔහු කියන්නේ එය නුවර ප්‍රදේශයේ සාම්පල් 68ක් සම්බන්ධයෙන් කළ පර්යේෂණයක ප්‍රථිපල බවයි. මෙවැනි සාවද්‍ය පුවත් හරහා මහජන කැළඹීම් ද ඇතිවිය හැකි බැවින්, එවැනි සංවේදී කරුණු වාර්තා කිරීමේදී අදාළ පාර්ශවයන්ගෙන් නිසි විමසීමක් කරන්නේ නම් වඩාත් උචිත බව ද වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ප්‍රකාශ කරනවා.

මේ සිදුවීම හා මාධ්‍ය වාර්තාව වෙනුවෙන් වැරදි මූලාශ්‍ර ලබා දෙමින් මහ ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොණුකිරීමට කටයුතු කරන බව වෙළෙද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් සිසිර කොඩිකාර පවසනවා.

මෙරටට ආනයනය කළ සහල් විස සහිත බව පළමුව අනාවරණය කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා යි.

POPULAR

Recent articles