මාර්ග සංවර්ධන අධිකාරිය අට ලක්ෂයක් ගෙවා ප්‍රමිතියෙන් තොර පාවහන් මිලදීගනියි

ප්‍රමිතියෙන් තොර පාවහන් මිලදී ගැනීම සඳහා රුපියල් 852 100 මුදලක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගෙවා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

2017 වසරේදී පාවහන් යුගල 734 ක් මිලදී ගැනීම සඳහා මිලියන 03 කට අධික මුදලක් ගෙවීමට සැලසුම් කර තිබී ඇති අතර පසුව හෙළිවී ඇත්තේ සැපයුම්කරු සපයා තිබූ පාවහන් නියමිත පිරිවිතරයන්ට නොතිබූ බවයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර විගණන අංශය හා ජාතික විගණන කාර්යාලය ද මෙම සපත්තු පිරිවිතරයන්ට අනුකූල නොවන බවට ද සිය වාර්ථාවල දක්වා තිබෙනවා.

එහෙත් එම පාවහන් තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ප්‍රතිකේෂ්ප නොකිරීම ඉකුත් සමයේ මාර්ග සංවර්ධන අධිකාරියේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වීම ද විශේෂත්වයක් වනවා.

පිරිවිතරයන්ට පටහැනි පාවහන් ප්‍රතික්ෂේප කළ යුතු අතරම පිරිවිතරයන්ට නොගැලපෙන භාණ්ඩ සදහා මුදල් නොගෙවා සිටිය යුතු බවටද ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබී ඇති අතර එවන් පසුබිමක් තුළ එවැනි නිර්දේශයක් තිබියදීත් අධිවේගි මාර්ග වැඩබලන අධ්‍යක්ෂකවරයෙකු විසින් මෙම සැපයුම්කරු හට ගෙවන මුල් වාරිකයක් ලෙස රුපියල් 852 100 මුදලක් ගෙවා දැමීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වුවද ඔහු මෙම ගෙවීම් සදහා පදනම් කොට ගෙන ඇත්තේ මෙම සපත්තු පිළිබඳව කිසිදු ලිඛිත පැමිණිල්ලක් ලැබී නොමැති බවට වන අසත්‍ය කරුණු පදනම්ව සැකසු කමිටු වාර්ථාවක් මත බවයි හෙළි වී ඇත්තේ.

POPULAR

Recent articles