පාස්කු නඩු අයින් කරන්න

පාස්කු ඉරිදා දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදූවු ජීවිත හා දේපල හානියට වන්දි ලබා දෙන්නැයි ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩු නිෂ්ප්‍රභා කරන්නයි නීතිපතිවරයා ඉල්ලා තිබෙනවා. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට නිශ්චිත තොරතුරු තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් ප්‍රහාරයට ලක්ව මියගිය හා සදාකාලික ආබාධිත වූ හා තුවාල ලැබූවන්ට වන්දි ලබා දෙන්නැයි ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයට පෙත්සම් 107ක් ඉදිරිපත් කොට තිබුණා.

නීතිපතිවරයා ඉල්ලා ඇත්තේ රජයට එරෙහිව පවරා ඇති එම නඩු 107 නිෂ්ප්‍රභා කරන්න ලෙසයි. නීතිපතිවරයා කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂ ද සිල්වාගෙන් ඊයේ (13) එම ඉල්ලීම කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2019 අප්‍රේල් මස 22වෙනි දින ඉදිරිපත් කළ 2019 /04 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශයට අප්‍රේල් මස 24 වැනි දින අනුමැතිය හිමිව ඇති බවත් එම අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව එම වන්දි මුදල් ගෙවීම සිදු කරන බවත් නීතිපතිවරයා සඳහන් කරනවා. එම අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මියගිය හා සදාකාලික ආබාධිත වූ පුද්ගලයකු සඳහා රුපියල් මිලියනයක්ද, තුවාල ලැබූ පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 5ක් ද, සිදුව ඇති දේපළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 5 ක උපරිමයකට යටත්ව වන්දි ද, අනුමැතිය හිමි වී ඇති බවයි ඔහු කියන්නේ. වන්දි ගෙවීමේ කටයුතු සඳහා හානිපූර්ණය සඳහා වන කාර්යාලයට පැවරීමටත් අමාත්‍ය මණ්ඩල සංදේශය නිර්දේශ කර ඇතැයි ඔහු පවසනවා.

අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය නම් කර තියෙනවා.

පාස්කු ප්‍රහාරයේ සිදුවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී විත්තිකාර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිස සිය වගකීම පැහැර හැරීම, ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හා රාජකාරිය පැහැර හැරිම තුළින් තමන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වු බවත්, ඊට වන්දි අයකර දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පැමිණිලිකරුවන් අගතියට පත් ස්භාවය අනුව රුපියල් ලක්ෂ සියයේ සිට ඉහළට වන්දි ඉල්ලමිනුයි මෙම නඩු පවරා තිබුණේ.

මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාරය හේතුවෙන් මියගිය හා සදාකාලික ආබාධිත වූවන්ට වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩලයෙන් නිර්දේශ කොට ඇති බවත් එම වන්දි ලබා දෙන තෙක් ඔවුන්ට සානුකම්පිත දීමනාවක් ලබා දීමට රජයට හැකියාව ඇති බවත් පවසා සිටියා.

නඩුවල දෙවැනි විත්තිකරු ලෙස නම් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඔහු වෙනුවෙන් උත්තර ගොනු කිරීම මෙම අවස්ථාවේ සිදු නොකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනරජයේ ජනාධිපති ලෙස පත්ව ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 /1 ව්‍යවස්ථාව ප්‍රකාරව හිමිවන මුක්තිය අනුව නඩුවේ විත්තිකාරත්වයෙන් ඔහු මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එලෙසම හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනද මීට පෙර අවස්ථාවක ජනපති මුක්තිය යටතේ තමන් මෙම නඩු වලින් මුදා හරින ලෙස ඉල්ලා සිටියත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

POPULAR

Recent articles