“2020 දී කෝටි 12 200ක ප්ලාස්ටික් ගෙන්වලා” – මහින්ද අමරවීර

මෙරටට ප්ලාස්ටික් ගෙන්වීම සඳහා 2020 වසරේ දී පමණක් රුපියල් කෝටි 12,200කට අධික මුදලක් වැයකර ඇති බව එක්සත් ජාතින්ගේ දත්ත පද්ධතියක් මඟින් කරුණු හෙළිදරව් කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

වාර්ෂිකව මෙරටට ප්ලාස්ටික් ටොන් තුන් ලක්‍ෂයක් පමණ ආනයනය කරන බව කී ඇමතිවරයා ඉන් 92.9% ක් පමණ පරිසරයට අවිධිමත් ලෙස බැහැර කරන බව පෙන්වා දෙනවා.

මින් ප්‍රතිචක්‍රීයකරණය කරනු ලබන්නේ 7.1% ක් පමණක් වන අතර පරිසරයට බැහැර කෙරෙන ප්ලාස්ටික්වලින් වැඩි ප්‍රමාණයක් මිනිසුන් විසින් ගිනි තබා විනාශ කිරීම නිසා විශාල වායු දූෂණයක් සිදුවන බවද ඇමතිවරයා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදීන් පිරිසක් සමඟ පසුගියදා පැවති සාකච්ඡාවක සහභාගී වෙමිනුයි.

මෙරට දැනට සිදුවන පාරිසරික හානි සඳහා පොලිතීන් හා ප්ලාස්ටික්වලින් විශාල බලපෑමක් එල්ල වන බවත්, පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය ගත් තීරණ යටතේ එක්වරක් පමණක් භාවිතා කරන සැෂේ පැකට් තහනම (ආහාර හා ඖෂධ නොවන) මේ වන විට සියයට සියයකින්ම සාර්ථක වී ඇති බවත් කී ඇමතිවරයා දිරාපත් නොවන ලන්ච්ෂීට් භාවිතය මාස තුනක් ඇතුළත රටෙන් තුරන් කරලීම කටයුතු කරන බවද පෙන්වා දෙනවා.

POPULAR

Recent articles