බිත්තර, කුකුල්මස් ගැන අනතුරු ඇඟවීමක්

කුකුළු කර්මාන්තය සඳහා 2021 වසරේ දී කිකිළියන් 80,000ක් ආනයනය කළද මෙම වසරේ එය 7000 දක්වා අඩුවීම නිසා ඉදිරි කාලයේ දැනටත් වඩා බිත්තර හා කුකුළුමස් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇති බව එම කර්මාන්තකරුවන් පවසනවා.

මෙරට බිත්තර හා කුකුළු මස් කර්මාන්තය රැකගැනීම සඳහා අද (12) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කුකුළු කර්මාන්තකරුවන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම වසරේ ජුලි මාසය වන විට මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 164ක් හා කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18ක් දක්වා අවම වී තිබූ බවත් මෙම වසරේ අප්‍රේල් මාසයේ දී මෙරට කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 21ක් හා බිත්තර නිෂ්පාදනය මිලියන 220ක් දක්වාත් ඉහළ මට්ටමක පැවතුණු බවත් කුකුළු කර්මාන්තකරුවන එහිදී පෙන්වා දී තිබෙනවා.

ආර්ථික අර්බුදකාරී තත්ත්වය මැද සත්ව ආහාර මිල ඉහළ යාම හා 2021 වර්ෂයේ මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් මෙරට බඩඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා පහත වැටීම සත්ව ආහාර හිඟයට හේතු වූ බව කී කර්මාන්තකරුවෝ සත්ව ආහාර සැකසීමට යොදාගන්නා බඩඉරිඟු වෙනුවට ආදේශකයක් වශයෙන් දැනට පිටරටින් මෙරටට ආනයනය කර ඇති සහල්වලින් කොටසක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

මෙම කරුණු සලකා බැලූ කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය යන ආයතන එක්ව මෙරට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් වහාම සකසන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර වෙත උපදෙස් දී තිබෙනවා.

POPULAR

Recent articles