‘ජාත්‍යන්තර කම්කරු දිනය’

අද මැයි පළමුවැනිදා ය. එනම් අප සියළු දෙනාම දන්නා පරිදි ‘ජාත්‍යන්තර කම්කරු දිනය’ යි.

ජාත්‍යන්තර කම්කරු දිනය පිළිබඳ ඉතිහාසය ආරම්භ වන්නේ 1886 වසරේ මැයි මස පළමුවැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයේ දී ආරම්භ වූ උද්ඝෝෂණයක් සමඟිනි. කාර්මික විප්ලවයත් සමඟ ආරම්භ වූ මහපරිමාණ කර්මාන්තශාලාවන් තුළ සිදුකෙරුණු අනුකම්පා විරහිත ශ්‍රම සූරාකෑමට එරෙහිව සංවිධානය වූ මෙම උද්ඝෝෂණයේ ප්‍රධානතම ඉල්ලීම වූයේ ‘සේවා මුරය පැය අටකට සීමා කිරීමයි’. අඛණ්ඩව දින තුනක් පුරා පැවති විරෝධතාවය පාලනය කිරීම සඳහා කර්මාන්තශාලා හිමි ධනපතියන් විසින් පොලිසිය කැඳවීමත් සමඟ ඇති වූ ගැටුම්කාරී තත්වය මැද පොලිස් වෙඩිපහරින් විරෝධතාකරුවන් සිව් දෙනෙකු මිය ගියේ ය. අරගලය මෙහෙය වූ විප්ලවීය නායකයින් අටදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ගෙන් සමහරෙකුට දීර්ඝ සිර දඬුවම් සහ තවත් සමහරෙකුට මරණ දඬුවම නියම කෙරුණි.

මෙම හේමාකට් අරගලයේ තෙවන වසර සමරන 1889 වසරේ ජූනී මාසයේදී ෆෙඩ්‍රික් එංගල්ස්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රංශයේ පැරිස් නුවර පැවති දෙවන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී, සෑම වසරකම මැයි පළමුවැනි දිනය සමස්ථ කම්කරු ප්‍රජාව වෙනුවෙන් සටන් වැදුණු හේමාකට් විරුවන් සැමරීම සඳහා වෙන්කිරීමට තීරණය කෙරුණි. ඉන්පසුව 1890 වසරේ පැවති ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස සමුළු සාමාජිකයන් සියළු දෙනා අතින් ඒකමතිකව සම්මත වූ අතර, එම වසරේ මැයි පළමුවැනිදා ලොව ප්‍රථම කම්කරු දිනය සැමරිණි. කෙසේවෙතත් කම්කරු දිනය ආරම්භ වීමට මඟ පෑදූ ඇමරිකා එක්සත් ජනපදය තුළ කම්කරු දිනය සැමරෙන්නේ සැප්තැම්බර් මාසයේ පළමු සඳුදා දිනයේ වන අතර ලෝකයේ තවත් රටවල් අතලොස්සක්ද කම්කරු දිනය සැමරීමට වෙනත් මාස යොදා ගනී.

ශ්‍රී ලංකාවේ කම්කරු දින ඉතිහාසය ආරම්භ වන්නේ 1900 යෙන්ද පසුවය. ඒ අනුව මෙරට ප්‍රථම කම්කරු දින සැමරුම 1926 දී කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ලංකා ඉතිහාසයේ ප්‍රථම මැයි රැළිය පැවැත්වෙන්නේ 1933 වසරේ දී ය. 1956 වසරේ දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කෙරුණි. කෙසේවෙතත් වර්ථමානය වන විට මෙරට මැයි දිනය දේශපාලන පක්ෂවල ආධිපත්‍යයට නතුව ඇති අතර එහිදී කම්කරුවන් සැමරීමකට හෝ ඔවුන්ගේ අයිතීන් ගැන කතාකිරීමකට වඩා සිදුවන්නේ දේශපාලන පක්ෂවල බල අරමුණු වෙනුවෙන් කම්කරු ජනතාව භාවිතා වීමකි.

මෙම වසරේ මැයි දිනය වෙනත් වසරවලට වඩා විශේෂ සහ වෙනස් එකක් බවට පත්වන්නේ, මේ වන විට සමස්ථ ලෝකයටම අභියෝගයක්ව පවතින කොරෝනා වෛරසය මධ්‍යයේ ලෝකයේ කිසිදු රටකට මැයි දින සැමරුම් පැවැත්වීමට නොහැකිව ගොස් තිබීම නිසා ය. අනෙක් වසරවලදී මැයි දිනයට පමණක් කම්කරු ජනතාව ගැන මතක්වන මෙරට දේශපාලන පක්ෂවලට මෙවර මැයි දිනයේදී ද කම්කරුවන්ව අමතකව ගොස් ඇතු පසුබිමක් තුළ, කොරෝනා වෛරසය හේතුවෙන් කම්කරු ජනතාවට මුහුණ දීමට සිදුව ඇති අර්බුදයන් පිළිබඳව අවධානය යොමු කිරීම වටී.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු හඟවන පරිදි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ බිලියන 1.6 ක පිරිසකට සිය ජීවනෝපායන් අහිමිව යාමේ අවධානමක් මතුව තිබේ. වසංගතය හමුවේ ලෝක ආර්ථිකය කඩා වැටීමත් සමඟ කම්කරුවන්ට සිය රැකියා අහිමිව යාමේ දැඩි අවධානමක් මතුව ඇති අතර දැනටමත් ලෝකයේ සමාගම් බොහෝමයක් සේවක කප්පාදුකිරීම් ආරම්භ කර ඇත. එහිදී ලොවපුරා මිලියන 25 ක පමණ සේවක පිරිසකට සිය රැකියා අහිමි වී යාමට ඉඩ ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවන් පෙන්වා දෙයි.

ඒ අනුව කොරෝනා වෛරසය නිමවීමෙන් අනතුරුව ලොව පුරා වෙසෙන කම්කරු ජනතාවට කොරෝනා වෛරසයට වඩා ප්‍රබල ව්‍යවසනයකට මුහුණ දීමට සිදුවනු ඇත. රටවල් අකර්මණ්‍ය කිරීම නිසා මේ වන විටත් විවිධාකාර වෘත්තීන්ගේ යෙදෙමින් දෛනිකව ලබාගන්නා ආදායමෙන් ජීවත ගැටගසාගත් ජනතාවගේ ආදායම් මාර්ග අහිමිව ගොස් ඇති අතර නුදුරේදීම ඔවුන්ගෙන් බහුතරයකට කුසගින්නට එරෙහිව සටන් වැදීමට සිදුවනු ඇත. කොරෝනා වෛරසයට ගොඳුරු වූවන් අතරින් මියයන ප්‍රතිශතය ඉතා අඩු අගයක් ගත්තත් කුසගින්නට හසුවී මියයන ප්‍රතිශතය එසේ අඩු අගයක් නොගන්නා බව ඉතිහාසය ඕනෑතරම් උදාහරණ මඟින් අපට පෙන්වා දී ඇත. ලෝකයේ දරිද්‍රතාවයෙන් සහ කුසගින්නේ පෙළෙන පිරිස සීග්‍රයෙන් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය දිගින් දිගටම අනතුරු හඟවමින් සිටින පසුබිමක, ලොව ප්‍රබල රාජ්‍යයන් සහ ලෝක දේශපාලනයේ සැඟවුණු ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන ධනපති ව්‍යාපාරික පන්තිය මෙම අසරණ කම්කරු ජනතාව වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඔවුන්ගෙන් වැඩි පිරිසකට කුසගින්න නිසා මරණයට පත්වීමට සිදුවනු නියත ය.

මෙරටද බොහෝ ආයතන ඉරිදි දිනවලදී දැවැන්ත සේවක කප්පාදූන් සිදුකරනු ඇති අතර ඒ අනුව මෙරට පෞද්ගලික අංශයේ දෙලක්ෂයක පමණ සේවක පිරිසකට රැකියා අහිමිව යාමේ අවධානමක් පවතින බව වෘත්තීය සමිති පෙන්වා දී තිබේ. එසේම දෛනික වැටුපට සේවය කළ මෙරට කම්කරු ජනතාව මේ වන විට සිය ආදායම් මාර්ග අහිමිව යාම නිසා දැඩි ජීවන අරගලයට මුහුණ දී සිටී. වෙනදාට මැයි පළමුවැනි දිනට හෝ ඔවුන්ව මතක්වන දේශපාලකයන්ට මෙම වසරේ මැයි දිනයේදී පවා ඔවුන්ව අමතකව ගොස් ඇත්තේ එම ජනතාව භාවිතා කරමින් තම පක්ෂය වෙනුවෙන් මැයි රැළි සංවිධානය කිරීමේ හැකියාවක් නොමැති නිසාය. මෙම දේශපාලකයන්ට නැවත කම්කරු ජනතාව මතක් වනු ඇත්තේ මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු ආරම්භ කළාට පසුව ය.

මේ සියල්ල අපට පෙන්වා දී ඇත්තේ එදා කම්කරු ජනතාව වෙනුවෙන් හේමාකට් චතුරස්‍රයේ දී දිවිපිදූ විරුවන්ට වටිනාකමක් දීමටවත් ලෝක බලතුලනය මෙහෙයවන ධනවාදය අසමත්ව ඇති බවයි. කම්කරු දිනය තවත් එක දිනයකට සහ නමකට පමණක් සීමා වී ඇති අතර අර්බුධයක් හමුවේ කම්කරු ජනතාවගේ ජීවන තත්වය සුරක්ෂිත කිරීමට හෝ වැඩපිළිවෙළක් ගොඩනැගීමට ධනවාදයට නොහැකි වී ඇති බවයි.

More from author

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි...

“සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ”- වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය

සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස් .ටී. කොඩිකාර සඳහන් කරන්නේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...