”දෙවන අරගලය ආරම්භ කරනවා” – රනිල් වික්‍රමසිංහ

පළවෙනි අරගලය ඉවර වුවද රට ගොඩ නගන දෙවන අරගලය ආරම්භ කරන බව ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් ඊයේ (06) පැවසුවා.

දහඩියෙන් මහන්සියෙන් සියලුම දෙනා එක්ව යළිත් රට ගොඩ ගන්නා බව බය නැතිව ප්‍රකාශ කරන බව කී ජනාධිපතිවරයා සජබෙ, පොහොට්ටුව,ජවිපෙ , දෙමළ සන්ධානය,එජාපය, එක මවකගේ දරුවන් සේ එකතු විය යුත්තේ රට ඉදිරියට ගෙන යාමට බවද ජනාධිපතිවරයා කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා :

”කොරෝනා වසංගතයෙන් පසුව පක්ෂ සංවත්සරය සඳහා මෙහි පැමිණ තිබෙනවා. ඔබ සැමට ස්තුතිය පුද කරනවා. අමාරු කාලයේදී ඔබ සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂය සමඟ වැඩ කටයුතු කළා.

අද අප අපේ පක්ෂය හැදු නායකයන් සිහිකරනවා. ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල,ජේ.ආර්. ජයවර්ධන,ආර්.ප්‍රේමදාස, ඩී.බී විජේතුංග නායකයන් විසින් මේ පක්ෂය මෙන්ම රටත් හැදුවා .ඒ අයගෙන් ඉගෙන ගෙන මා මෙතනට පැමිණ සිටිනවා.

මා අද කතා කරන්නේ මේ පක්ෂයෙන්ම බිහිවූ හතරවන ජනාධිපතිවරයා ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පෙර ජනාධිපතිවරුන්ට වඩා වෙනස් තත්ත්වයක් මට තිබෙනවා. මට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් හෝ ආණ්ඩුවක් නැහැ. අප සියලු දෙනාම එකතු වී මේ ආණ්ඩුව ගෙන යනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම තවත් පක්ෂ ගණනාවක සහය සමඟ ආණ්ඩුව ගෙන යනවා. අද අප විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඉතිහාසයේ මෙවැනි අර්බුදයක් තිබුණාදැයි කියා මා දන්නේ නැහැ. ආර්ථිකය කඩාවැටිලා. මේ ප්‍රශ්නයට විසදුම් සෙවිය යුතුව තිබෙනවා. මේ අර්බුදය මැද මා මෙහි පැමිණ සිටිනවා.”

POPULAR

Recent articles