’74 වසරක සාපය නිමා කරමු’ – ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කරන උද්ඝෝෂණ හා පාගමන අද (23)

ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කරන උද්ඝෝෂණ හා පාගමන අද (23) සවස නුගේගොඩ දී පැවැත්වෙනවා. සවස 3.00ට දෙල්කඳ මංසන්දියෙන් විරෝධතා පා ගමන ආරම්භ වන බවයි එහි සංවිධායකයන් පවසන්නේ. විරෝධතා පා ගමන අවසානයේ රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේ දී පවත්වනවා.

“ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය දැන් රට පුරාම නැගෙනවා. මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් එකින් එක වේගයෙන් බිඳ වැටෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහල යනවා. පෙට්රල්, ඩීසල්, භූමිතෙල් මිල ඉහල ගියත් පහසුවෙන් ගන්න විදිහක් නැහැ. පැය ගණන්, වරු ගණන් ජනතාව පෝලිමේ. උයාගන්න ගෑස් නැහැ. ගෑස් මිල පාලනය කරන්න ආණ්ඩුවට බැහැ. හෙට අනිද්දා වෙනකොට විදුලි බිලත් ජල බිලත් ඉහල යනවා. අවශ්‍ය කරන ඖෂධ රටේ නැහැ. පාසල් දරුවන්ට විභාග තියන්න කඩදාසි නැහැ. විශ්ව විද්‍යාල වහලා. විධිමත්ව අධ්‍යාපනයක් නැහැ. මිනිස්සු පෝලිම් වල මැරී වැටෙනවා. ආණ්ඩුවේ උදවිය ඩොලර් නැහැ කියා අඬමින් ලෝකේ වටේ සවාරි යනවා. උදේ ගහපු ගැසට් එක හවස රිවර්ස් කරනවා. ආණ්ඩුවට පරිපාලන, කළමනාකරණ දැක්මක් නැහැ. රටේ ණය බර අහස උසට. උදේට ඉන්දියාවෙන් ණය ගන්න ආණ්ඩුව සවස චීනෙන් හිඟා කනවා. රෑට IMF එකෙන් ණය දෙන්න බැරිද අහනවා. අය්යලා මල්ලිලා ඉන්න ආර්ථික කමිටුව නඩත්තු කරන්න ව්‍යාපාරිකයෝ දාගන්නවා. මාධ්‍යවේදීන්ට උතුරේත් දකුණේත් තර්ජන. මිනිස් අයිතිවාසිකම් අකුලලා දානවා.

මේ සේරම මෙරට පාලනය කරපු, පාලනය කරන පවුල් කීපයක 74 වසරක පාලන ක්‍රමයේ ප්‍රතිඵල.

අද අපි නුගේගොඩින් පටන් ගන්නේ ඒ 74 වසර පාලන ක්‍රමයට, පාලනය කරන කල්ලි කණ්ඩායම් වලට එරෙහි සැබෑ ජනතා විරෝධය. මේ ආණ්ඩුවත්, මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන 74 වසරක පාලන ක්‍රමයත් පරාජය කරන්න ඕනේ කියලා අවංකව විශ්වාස කරන ඕනෑම කෙනෙකුට, කණ්ඩායමකට, සංවිධානයකට අපි ආරාධනා කරනවා, එන්න අද හවස දෙල්කද හන්දියට, එන්න නුගේගොඩ එළිමහන් රංග පීඨය ළඟට. අපි එකතුවෙලා ජන පීඩක ආණ්ඩුව එක්කම මේ ක්‍රමයම පරාජය කරමු” යි මේ විරෝධතාවය පිළිබඳව සඳහන් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය, හරිනි අමරසූරිය පවසනවා.

POPULAR

Recent articles