ජනාධිපතිගෙන් කාර්ය සාධක බළකා 08ක්

යහපත් ආයෝජන අවස්ථා ඇති කිරීම හා ආයෝජකයින් සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකා අටක් (08) ඊයේ (01) ජනාධිපති කාර්යාලයේදී ස්ථාපිත කර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්ය සාධක බළකාය බලගන්වා තිබෙනවා.

මෙම කාර්ය සාධක බලකායන් බලාත්මක කර ඇත්තේ නව ව්‍යාපාර ආරම්භ කිරීම, ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීම, ව්‍යාපාර දේපලක් ලියාපදිංචි කිරීම, ණය ලබා ගැනීම, කුඩා පරිමාණයෙන් ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍ර 08ක් පදනම් කරගෙන ව්‍යාපාර කටයුතුවලට අදාළ සේවාවන් සපයන රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරන සියලුම ක්‍රියා පටිපාටි රෙගුලාසි සහ ක්‍රියාමාර්ග ආවරණය කිරීම සඳහා.

මෙම කාර්යයට අදාළ සියලුම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් එම කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් සහ සාමාජිකයින් 74 දෙනෙකු සහභාගී වූ අතර
ඔවුන් දිරිමත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක පැවසුවේ මෙය ආයෝජකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට රජය ගෙන යන දිගුකාලීන උත්සාහයේ තවත් සන්ධිස්ථානයක් බවයි.

පසුගිය රජයන් විසින් ආරම්භ කරන ලද ක්‍රියාකාරකම් ආණ්ඩු වෙනස් වන විට ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවත් එවැනි කාලෝචිත හා අවශ්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිවිපාක අද අප විඳින බවත් ජනාධිපති ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නා.

POPULAR

Recent articles