ශ්‍රී ලංකාවේ දහදෙනෙකුගෙන් තුන්දෙනෙක් ආහාර අනාරක්ෂිත තත්ත්වයේ

ශ්‍රී ලංකාවේ දහ දෙනෙකුගෙන් තුන්දෙනෙකු ආහාර අනාරක්ෂිත (Food Insecurity) තත්ත්වයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන (The World Food Programme – WFP) නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ ගැබිනි සහ මව්කිරි ලබාදෙන මව්වරුන් මේ හේතුවෙන් දැඩි ලෙස පීඩාවටට පත්ව ඇති බවයි.

අවුරුදු 5ට අඩු දරුවන් සහ ආබාධ සහිත පුද්ගලයින් ද දරුණු ලෙස පීඩාවට පත්ව සිටින අතර වයස අවුරුදු 5ට අඩු ළමුන් වෙනත් මධ්‍ය ආදායම් ලබන රටවලට වඩා ඉහළ මන්දපෝෂණ අනුපාතිකයින් පෙළෙන බව ද එම නිවේදනයේ සඳහන් වෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආහාර උද්ධමනය 90%ව ට වඩා ඉහළ මට්ටමකට පැමිණ තිබෙන බැවින් ජීවනනෝපායන් සහ ආහාර සුරක්ෂිත වැඩසටහන්වලට බාධා පැමිණ ඇති බව ඔවුන් පවසනවා. මේ වනවිට රට තුළ මිලියන ගණනක් දෙනා ආහාර අනාරක්ෂිතභාවයට ගොදුරු වී ඇති බවයි ලෝක ආහාර වැඩසටහන (WFP) සඳහන් කරන්නේ.

මිලියන 6.3කට ආසන්න ජනතාවක් ආහාර අනාරක්ෂිතාව සහ ආධාර අවශ්‍යව සිටින අතර මිලියන 1.5කට ආසන්න පිරිසකට හදිසි ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආහාර වැඩසටහන කියනවා. නවතම WFP තක්සේරුව හෙළි කරන්නේ පවුල්වලින් 86%ක් මිල අඩු, අඩු පෝෂ්‍යදායී ආහාර මිලදී ගන්නා බවත් අඩුවෙන් ආහාර ගන්නා බවත්, සමහර අවස්ථාවල ආහාර සම්පූර්ණයෙන්ම මග හරින බවයි.

වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගෙන් 17% ක් වයසට අදාළ වන උස මට්ටමේ නොමැති අතර 15%ක් තම උසට වඩා කෙසඟ බවයි වාර්තා කර ඇත්තේ. 2022 ජුනි සහ දෙසැම්බර් අතර ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ ජීවනෝපායන් අවදානමට ලක්ව ඇති මිලියන 3.4 ක ජනතාවකට සහාය වීම සඳහා ලෝක ආහාර වැඩසටහන (WFP) සිය මෙහෙයුම් පුළුල් කළ බව පවසනවා.

POPULAR

Recent articles