සමුද්‍ර නිරීක්‍ෂණ ගුවන් යානය නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදෙයි

ඉන්දියාවේ ඩෝනියර් 228 ගුවන් යානය ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාර දීම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදුවුණා.

ඩොනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානය ජනාධිපතිවරයාට භාර දෙනු ලැබුවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින්. ඉන්දියානු මහ කොමසාරිස් මෙහි දී කියා සිටියේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම සදහා මෙම යානය පරිත්‍යාග කරන බවයි. තවද මෙය ඉන්දියානු සාගර කලාපයේ සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මිතුරු රටවල් වල ශක්තියට විශේෂ දායකත්වයක් ලබා දෙනු ඇති බව ද ඔහු කියා සිටියා.

මෙම යානය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් එන් ගොර්මඩෙයි විසින් මෙරටට රැගෙන එනු ලැබුවා . මෙම යානය ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව වෙත භාර දීමට කටයුතු කළා.

ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකා රජය වෙත එවැනි යාත්‍රා 3ක් ලබාදීමට නියමිත අතර මෙය එහි පළමු යානාව වනවා.

2018 වසරේ නව දිල්ලි නුවරදී දෙරටේ ආරක්ෂාව පිළිබඳව පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව මෙම යානාව ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබුණා. අදාළ ගුවන් යානය දෙවසරකට නොමිලේ ලබා දෙන්නේ, නව ගුවන් යානයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගත වන බැවින්.

මෙම යානය ලබාදීමෙන් අනතුරුව ඉන්දීය තාක්ෂණික නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද මීට අදාළව පසුගිය මාර්තු මාසයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇති ලියකියවිලිවල සඳහන් වනවා.

POPULAR

Recent articles