”බොහෝ මන්ත්‍රීවරුන්ට මැතිවරණයකට මුහුණ දීමට අවශ්‍යතාවක් නෑ” – සුනිල් හඳුන්නෙත්ති

ජනවරමක් ලබා දෙන මැතිවරණයක් ඉල්ලීම ජනතාවගේ සම්පූර්ණ අයිතියක් බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති කියනවා. එහෙත් මැතිවරණයකට මුහුණ දීමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනාට හැර අන් බොහෝ මන්ත්‍රීවරුන්ට එලෙස අවශ්‍යතාවක් නැති බවයි ඔහු සඳහන් කරන්නේ.

“ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තුන්දෙනාට හැර අනෙකුත් බොහෝ මන්ත්‍රීවරුන්ට මැතිවරණයකට යාමේ වුවමනාවක් නැහැ. හැබැයි රටේ ජනතාවට ඒ වුවමනාවක් තිබෙනවා.

මහජන නැගිටීමකින් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් එලෙව්වාට පස්සේ මේ තියෙන්නේ ජනවරමක් නැති පාර්ලිමේන්තුවෙන් අටවා ගත් ආණ්ඩුවක්. ගෝඨාභය රාජපක්ෂ අයින් වුණාම ඒ ජනවරම දැන් අහෝසියි. මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය අයින් වුණාම ඔවුන්ට තිබුණු ජනවරම අහෝසියි. තනි මන්ත්‍රීවරයෙක් හැටියට රනිල් වික්‍රමසිංහට ජනවරමක් තිබෙන්නේ කොහොමද. ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රී කෙනෙක් ජනාධිපති වෙලා ඉන්නේ. ජනතාව අකමැති නායකයෙක් රටේ තියාගෙන රටක් ඉස්සරහට ගෙනයන්න බැහැ. ඒ නිසයි අපි කියන්නේ ජනවරමට අවස්ථාවක් දෙන්න කියලා.

ඉදිරි කාලයත් ආණ්ඩුවට වෙලා හොරකම් කරන්න පුළුවන් කියලා ගෝඨාභය රාජපක්ෂගේ කණ්ඩායම හිතනවා නම්, ඒක රටේ ජනතාව පිළිගන්නේ නැහැ. ඒ අතර රනිල් වික්‍රමසිංහ ගේමක් ගහලා තමන්ගේ මන්ත්‍රීවරු පිරිසක් හදාගන්න කරන උත්සාහය ජනතාව පිළිගන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මේකට හවුල් වෙන්න යන්නේ තමන්ගේ මන්ත්‍රීවරුන් බිලිබා ගන්න එක වහගන්න නම්, ජනතාවට ඒකත් ඕනෑ නැහැ. ජනතාවට ඕනෑ තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්න නායකත්වය බාරගන්නා වගකීම් සහගත ආණ්ඩුවක්. තමන්ගේ ඡන්දයෙන් පත්කර ගත් නායකයින් ජනවරමට අනුව කටයුතු කරන්නේ නැත්නම් ඒ නායකයන් ඉවත් කරන්න ජනතාවට ශුද්ධ වූ අයිතියක් තියෙනවා. ඒ වගේම තමන් කැමති නායකයෙක් පත්කර ගත්තාට පස්සේ ඊට අනුව බැඳීමක් ඇතිකර ගන්න වගකීමකුත් ජනතාවට තිබෙනවා. අපේ රටේ ජනතාව ඉල්ලන්නේ ‘අපට ජීවත් වෙන්න, අපට බැඳීමක් තිබෙන ආණ්ඩුවක් හදන්න ඉඩදෙන්න’ කියලයි. රනිල් වික්‍රමසිංහත් ඉස්සෙල්ලා කිව්වෙ ඒක. මහානායක හිමිවරු, අගරදගුරුතුමන්ලා ඇතුළු අනෙකුත් ආගමික නායකයින් ඉදිරිපත් කළ අන්තර් කාලීන පාලනය දැන් කෝ. මේ ආණ්ඩුව එන්න හදන්නේ ඉතිරි අවුරුදු දෙකහමාරත් බලයේ ඉන්න. ඒකට කිසිම අයිතියක් නැහැ. ජනවරමක් ලබා දෙන්න මැතිවරණයක් ඉල්ලීම ජනතාවගේ සම්පූර්ණ අයිතියක්” යැයි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

POPULAR

Recent articles