ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු මෙරට ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු පක්ෂ 10 නියෝජනය කරන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවී තිබෙනවා. ඒ ඊයේ (28) දිනයෙදී යි. මෙම පිරිස මේ සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ ස්වාධීන වූ බව කියන මන්ත්‍රීවරු 41 දෙනාගේ නියෝජිත පිරිසක් ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත සහ ටිරාන් අලස් යන අය සමඟ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අතර වූ මෙම හමුව සිදුව ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී යි. මෙම සාකච්ඡාවේදී මෙරට වර්තමාන තත්ත්වය සහ පිහිටුවීමට යෝජිත සර්වපාර්ශික අන්තර්කාලීන ආණ්ඩුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා. දශක ගණනාවක සිට ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඉතා ළඟ මිතුරෙකු බවත් ඉදිරියේදී ඕනෑම තත්ත්වයක් යටතේ අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවසූ බවයි ඔහු සටහන් කර ඇත්තේ.

මෙම සාකච්ඡාවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා සමඟ තවත් පිරිසක් සහභාගී වී තිබුණේ නැහැ.

POPULAR

Recent articles