පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංකාවෙන් ගිය 09 ක් අතුරුදන්

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ගොස් අතුරුදන්වූ ශ්‍රී ලංකා නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනකු සොයා ගැනීම සඳහා එංගලන්තයේ මෙට්‍රොපොලිටන් සහ බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිස් ස්ථාන සමත්ව ඇති බවයි කියන්නේ. අතුරුදන්ව සිටින නිලධාරීන් සහ ක්‍රීඩකයන්ගේ සියලු තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන් විසින් එම පොලිස් ඒකක වෙත භාරදී ඇති බවත් වාර්තා වෙනවා.

ජූඩෝ කණ්ඩායමේ කළමනාකරු, ජූඩෝ ක්‍රීඩිකාවක්, මල්ලවපොර ක්‍රීඩකයකු මීට පෙර අතුරුදන් වූ අතර ඉකුත් 5 වැනිදා ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩකයකුද කණ්ඩායමෙන් අතුරුදන් වී තිබුණා. කිලෝග්‍රෑම් 67-71 බර පන්තියේ ක්‍රීඩකයකු වන ඔහු බොක්සිං තරගයක් නරඹමින් සිටියදී වැසිකිළියට යෑමට අවශ්‍ය බව පුහුණුකරුට පවසා පිටව ගිය බව පැවසෙනවා. අතුරුදන් වීම් වාර්තා වීමත් සමඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ නිලධාරීන්ගේ ගුවන් ගමන් බලපත්‍ර සියල්ල බලධාරීන් විසින් ලබාගෙන තිබූ අතර බොක්සිං ක්‍රීඩකයාගේ විදෙස් ගමන් බලපත්‍රයද මේ වනවිට බලධාරීන් සතුව තිබෙන බව කියනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ක්‍රීඩකයින් 9 දෙනෙක් සහ කලමනාකරුවෙක් මේ වන විට අතුරුදහන්ව ඇති බවයි.

ජූඩෝ ක්‍රීඩිකා චමිලා ඩිලානි, ඇගේ කලමනාකරු අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩක ශනිත් චතුරංග අතුරුදන් වූ බව පසුගිය සතියේ වාර්තා වුණා.
අතුරුදන් වූ සෙසු ක්‍රීඩකයින් කවුරුන් දැයි එම විදෙස් මාධ්‍ය අනාවරණය නොකළත් ඔවුන් පවසන්නේ රැකියාවන් අපේක්ෂාවෙන් එක්සත් රාජධානියේ රැඳී සිටීමට මෙම පිරිස උත්සහ කරන බවයි.

පළමුව අතුරුදන් වූ තිදෙනා රැඳී සිටින ස්ථානය බ්‍රිතාන්‍ය පොලිසිය මගින් හඳුනාගෙන ඇතත් ඔවුන්ට මාස 6කට වලංගු වීසා බලපත්‍ර හිමිව තිබීම සහ එරට තුළ කිසිදු නීතියක් උල්ලංඝනය නොකිරීම නිසා ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග නොගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

POPULAR

Recent articles