දේශබන්දු තෙන්නකෝන් ගැන විමර්ශන අවසන්

ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර ‘ගෝඨාගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී නම් සඳහන් වී ඇති බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි කියන්නේ.

එහි වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා. ඊට අදාළ ප්‍රගතිය අගෝස්තු මස 24 වනදා වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කෙරුනා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී දැනට ඉදිරිපත්වී ඇති කරුණු පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමර්ශනයේදී අනාවරණය වන සමස්ත සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු බවයි පවසා තිබුණේ.

මෙහිදී මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කරුණු දක්වමින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් 03 වතාවක් උපදෙස් නිකුත් කර තිබෙන බව සඳහන් කළා. ඒ, සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්දැයි මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියා.
එසේ ලබාදුන් උපදෙස් පිළිපැදීම පැහැරහැරීම සම්බන්ධයෙන් වහා මැදිහත් වී අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මෙහෙස්ත්‍රාත්වරයා විසින් මෙහිදී නීතිපතිවරයාට දැනුම් දුන්නා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ සැකකරුවන් 05 දෙනෙකුගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය බව සඳහන් කළා.

ඒ අනුව අදාළ දුරකථන පරීක්ෂණ සිදුකිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබෙනවා. පැමිණිල්ල ලබන 24 වනදා කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

POPULAR

Recent articles