“සර්ව පාක්ෂික සමුළුවට අපි නෑ” – අනුර දිසානායක

තමන් විසින් සර්ව පාක්ෂික සමුළුවක් යෝජනා කළේ මීට අවුරුදු එක හමාරකට පෙර බව ජවිපෙ සහ ජාජබ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. ආණ්ඩුව යෝජනා කර ඇති සර්ව පාක්‍ෂික සමුළුව මේ මොහොතේ පවත්වන්නේ ආණ්ඩුවේ දේශපාලන අර්බුදය සමනය කර ගැනීමට මිස රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න නොවන බවයි ඔහු කියන්නේ. මෙම සර්ව පාක්‍ෂික සමුළුව යෝජනා කරන්නේ ආණ්ඩුවෙන් ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කළ පසුව ජනාධිපතිවරයා සමග ශ්‍රීලනිපය කරන සාකච්ඡාවේදී බව අනුර දිසානායක මහතා සඳහන් කරනවා. ඔහු කියන්නේ මේ යෝජනාව ශ්‍රීලනිපයේ සහ පොදුජන පෙරමුණේ අර්බුදය නිසා යෝජනා වූවක් පමණක් බවයි.

එලෙසම අනෙකුත් පක්‍ෂ එක්කර ගත් නායකත්ව මණ්ඩලයක් ගොඩනැගීම පිළිබඳව යෝජනාවද ඵලක් ඇති යෝජනාවක් නොවන බවත් පාර්ලිමේන්තුවේ සිදු කරන එවැනි ඔළුගෙඩි මාරු කිරීමේ සෙල්ලම්වලට තමන් සහභාගි නොවන බවත් මන්ත්‍රීවරයා පවසනවා.

“ආණ්ඩුවේ සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගි වෙන්න කියලා ජාතික ජන බලවේගයට ආරාධනාවක් ලැබී තිබෙනවා. මෙම සර්ව පාක්‍ෂික සමුළුව මේ මොහොතේ පවත්වන්නේ ආණ්ඩුවේ දේශපාලන අර්බුදය සමනය කර ගැනීමට මිස රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න නෙවෙයි. මෙම සර්ව පාක්‍ෂික සමුළුව යෝජනා කරන්නේ ආණ්ඩුවෙන් ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කළ පසුව ජනාධිපතිවරයා සමග ශ්‍රීලනිපය කරන සාකච්ඡාවේදීයි. එනිසා මේ යෝජනාව ශ්‍රීලනිපයේ සහ පොදුජන පෙරමුණේ අර්බුදය නිසා යෝජනා වූවක් පමණයි.

මීට පෙරත් මේ අය මෙවැනි ආකාරයේ සර්වපාක්‍ෂික සමුළු විශාල ප්‍රමාණයක් කැඳවා තිබෙනවා. කොවිඩ්වලටත් එවැනි සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳෙව්වා. එය කෙළවර වුණේ විලාප සමුළුවක් බවට පත්වෙලා. ආණඩුව තමන්ගේ න්‍යාය පත්‍රය දිගටම කරගෙන ගියා. එවැනි සර්වපාක්‍ෂික සමුළු කියන්නේ ආණ්ඩුවේ අර්බුදය සාධාරණය කර ගැනීමට උඩින් තවරණ අයිසිං එකක් පමණයි.

සර්ව පාක්‍ෂික සමුලුවක් පවත්වා රටේ ආර්ථීකය ගැන කතා කරනවා නම් මේ වෙලාවේ ආර්ථිකය ගැන ඇත්ත අර්බුදය ආණ්ඩුව රටට ඉදිරිපත් කළ යුතුයි. ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරපු වාර්තාව පිළිබඳව, රටේ විදෙස් සංචිතය පිළිබඳ තොරතුරු, මෑත කාලයේදී ලබාගත් ණය පිළිබඳව විස්තර ආදිය මේ රටේ ජනතාව දන්නේ නැහැ. ඒ වගේම ඉන්දියාවෙන් ලබා ගන්න ඩොලර් බිලියනය සහ ඉන්දියාවට රටේ ජාතික සම්පත් ලබාදීම සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබෙන එකඟතා පිළිබඳව රට දන්නේ නැහැ. එවැනි ආර්ථිකය සම්බන්ධ සියලු තොරතුරු සඟවා ආර්ථිකය සම්බන්ධයෙන් කරන සර්ව පාක්‍ෂික හමුවක් කිසි ලෙස සාධාරණය වන්නේ නැහැ.

මෙවැනි සාකච්ඡාවක අවශ්‍යතාවය අපි අවධාරණය කළේ මීට වසර එක හමාරකට පමණ පෙරයි. නමුත් අර්බුදය වර්ධනය වී පුපුරා ගියාට පසුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපිට ආරධනා කිරීම කිසිදු පළක් නැති ක්‍රියාවක්. ඒනිසා මෙම කරුණු පදනම් කරගෙන සාර්ව පාක්‍ෂික සමුළුව සඳහා ජාතික ජන බලවේගය සහභාගි වෙන්නේ නැහැ. ඒ වගේම ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මේ ප්‍රශ්නවලට විසඳුම් ගෙනෙයි කියලා සිහිනයක අපි නැහැ.

ඒ වගේම රටේ අර්බුදය විසඳීම සඳහා අනෙකුත් පක්‍ෂ එක්කර ගත් නායකත්ව මණ්ඩලයක් ගොඩනැගීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපි විශ්වාස කරන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න පුළුවන් වෙයි කියලා. එනිසා අපි පාර්ලිමේන්තුවේ කරන ඔළුගෙඩි මාරු කිරීමේ සෙල්ලම්වලට සහභාගි වෙන්නේ නැහැ. අනෙක් කාරණය මේ සියල්ල මේ අර්බුදයේ නිමවුම්කරුවෝයි. ඔවුන් මේ අර්බුදයට විසඳුමක් වෙන්නේ නැහැ. එනිසා මෙම අර්බුදය හදපු පිරිස් සමග අර්බුදය විසඳීම සඳහා සාකච්ඡා කර පළක් නැහැ” යි ජාතික ජන බලවේගයේ නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා.

POPULAR

Recent articles