”පක්ෂ පාට බලාගෙන දේශපාලනය කරනවා නම් මේ රටට අනාගතයක් නෑ” – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකද වන රුවන් විජයවර්ධන පවසන්නේ මෙරට පසුගිය කාලයේ බෙදී තිබුණු බවයි. ඒ වෙනුවට එකට එක්විය යුතු බවයි ඔහු පවසන්නේ.

“අපි විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. ආර්ථික අර්බුදයේ නරකම කාලය තමයි දැන් අපි විඳින්නේ. මේ ආර්ථික අර්බුදයෙන් අපි එළියට එන්න නම් මේ රට ඉදිරියට යන්න නම් අපි පක්ෂ පාට භේදයක් බලන්නේ නැතුව සියලුදෙනාම එක් වෙන්න ඕන. පක්ෂ පාට බලාගෙන දේශපාලනය කරනවානම් මේ රටට අනාගතයක් නෑ. ආර්ථික අර්බුදයෙන් අපිට එළියට යන්න බෑ. මේ රට ගොඩගන්න අපි සියලුදෙනා අපේ පක්ෂ දේශාපලනය පැත්තක තියලා පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජනය කරන සියලු දෙනා, පළාත් පාලන නියෝජිතයෝ සියලුදෙනාම එකතු වෙන්න ඕන.

පක්ෂ දේශපාලනය පමණක් නෙවෙයි පසුගිය කාලයේ අපි රටක් හැටියටත් බෙදිලා හිටියේ. ආගම් වශයෙන් ජාති වශයෙන් බෙදිලා හිටියා. එවැනි භේද බින්න තියාගෙන අපිට ඉදිරියට යන්න අවස්ථාවක් නෑ. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු වෙන්න ඕන. එයින් පමණයි අපිට ‍මේ රට ගොඩගන්න පුළුවන් වෙන්නේ.

අරගලය සමඟ සම්බන්ධ වෙලා හිටපු තරුණ තරුණියන්ගේ සමහරක් අයගේ හොඳ අදහස් තියෙනවා මේ රට කොහොමද වෙනස් කරන්න ඕනෑ කියලා. අරගලයත් සමඟ සම්බන්ධ වුණා විවිධ දේශපාලනය කරන පිරිස්. ඒ පිරිස් රට තුළ අස්ථාවර බවක් ඇති කරන්නට වැඩ කටයුතු කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන්ගේ නිවාස ගණනාවක් ගිනිබත් කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවසත් ගිනිබත් කළා. ඒ‍ගොල්ලන්ගේ අදහස රට අස්ථාවර කර මේ රටේ නායකත්වය ගන්න. අස්ථාවරභාවයක් මේ රට තුළ තියෙනවානම් එයාලටවත් මේ රට මේ ආර්ථික අර්බු‍දයෙන් ගොඩගන්න බෑ.

මේ ර‍ට තුළ ස්ථාවරභාවයක් තියෙන්නේ ඕනෑ ආර්ථිකය හදන්න. IMF සමග ඉදිරියට යන්න නම් මේ රටේ ස්ථාවරභාවයක් තියෙන්න ඕනෑ. දේශපාලන ස්ථාවරභාවයක් තියෙන්න ඕනෑ. එවිටයි අපිට ආර්ථික ස්ථාවරභාවයකට යන්න පුළුවන් වෙන්නේ” යි ජනාධිපති උපදේශකවරයා කියනවා.

POPULAR

Recent articles