”ශ්‍රී ලංකාවේ ආර්ථීකය කඩාවැටීමට හේතුව චීන ව්‍යාපෘති ගැන අනවශ්‍ය බලාපොරොත්තු තැබීමයි” – CIA ප්‍රධානී

ශ්‍රී ලංකාවේ ආර්ථීකය කඩාවැටීමට හේතුව චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අනවශ්‍ය බලාපොරොත්තු තැබීම බව අමෙරිකාවේ CIA සංවිධානයේ ප්‍රධානී William Burns පවසනවා. අමෙරිකාවේ, Aspen Security Forum නම් වූ වාර්ෂික ආරක්ෂක සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. වාර්ෂිකව පවත්වනු ලබන Aspen Security Forum මෙවර පවත්වනු ලැබුවේ අමෙරිකාවේ, කොලරාඩෝ ප්‍රාන්තයේ දී යි.

CIA ප්‍රධානී William Burns පවසා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ චීන ව්‍යාපෘති කෙරෙහි අදූරදර්ශී විශ්වාසයක් තැබීම බවයි.

“චීනයට ආර්ථික වශයෙන් සිය ආයෝජන සඳහා උපරිම ප්‍රතිලාභ හිමිකර ගැනීමේ ඉහළ හැකියාවක් පවතිනවා. ආරක්ෂක වශයෙන් ඔවුන් සාමාන්‍යයෙන් පරීක්ෂකාරී වන බව කිව හැකියි. පසුගිය කාලය තුළ මැදපෙරදිග සහ දකුණු ආසියාවේ අමෙරිකානු අත්දැකීම් ගැන අවධානය යොමුකිරීම ඊට හේතුවක්. මේ නිසා මැදපෙරදිග කලාපයේ ඇතැම් ප්‍රදේශවලින් ඔවුන් යම් අන්දමක දුරස්වීමක් දැකිය හැකියි.

ශ්‍රී ලංකාව වැනි රටවලින්ද ඔවුන් යම් පාඩමක් ඉගෙන ගන්න ඇතැයි සිතනවා. සිය ආර්ථික අනාගතය උදෙසා චීන ව්‍යාපෘති පිළිබඳව අදූරදර්ශී බලාපොරොත්තු තබමින් අධික ලෙස ණය ගැතිවීමේ ප්‍රතිඵලයක් ලෙසයි අද ශ්‍රී ලංකාව තුළ ආර්ථික හා දේශපාලනමය වශයෙන් විනාශකාරී බිඳ වැටීමක් ඇතිවී තිබෙන්නේ.

මම හිතනවා එය මැදපෙරදිග සහ දකුණු ආසියාවේ පමණක් නොව ලොව පුරා රටවල් රැසකට මෙවැනි ගනුදෙනු සම්බන්ධයෙන් විවෘතව සිතා බැලීම සඳහා ආදර්ශයක් වන බව” CIA ප්‍රධානියා පවසා තිබුණා.

POPULAR

Recent articles