”රාජපක්ෂවරුන් රනිල් ලවා සිය භීෂණකාරී දේශපාලනය ක්‍රියාවට නංවමින් සිටිනවා” – සරත් ෆොන්සේකා

ගාලුමුවදොර අරගල භුමියට එල්ලවූ ප්‍රහාරය සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා තරයේ හෙලා දැක තිබෙනවා. ඔහු පවසන්නේ මෙය බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරයක් බවයි.

“කිසිදු ජනවරමක් නැති රූකඩ ජනාධිපතිතුමා දිවුරුම් දී පැය 24ක් ඉක්ම යන්නටත් මත්තෙන් ඔහුට සුපුරුදු රාජ්‍ය ත්‍රස්තවාදය ගාලුමුවදොර අරගල භූමිය වෙත මුදා හැර තිබේ.

ජනතාවගේ ඡන්දයෙන් පරාජය වූ කිසිදු ජනවරමක් නොමැති, රාජපක්ෂ ජුන්ටාවේ රූකඩය බවට පත්වී සිටින, සමස්ත රටවැසි ජනතාවම ප්‍රතික්ශේප කරන ජනාධිපතිවරයා විසින් අද අළුයම් කාලයේ හමුදාව සහ පොලීසිය යොදවා සිදුකළ අමානුෂික, නින්දිත, ම්ලේච්ඡ ප්‍රහාරය සමස්ත රටවැසියන් පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුය.

මැයි මස 9 වෙනිදා සිය ප්‍රාදේශීය මැරයන් යොදා භීෂණය වපුරා මර්ධනය කළ නොහැකි වූ අරගලය තුළින් මතු වූ දැඩි ජනතා විරෝධය හමුවේ පලාගිය රාජපක්ෂවරුන් රනිල් ලවා සිය භීෂණකාරී දේශපාලනය රාජ්‍ය ත්‍රස්තවාදය ලෙසින් ක්‍රියාවට නංවමින් සිටියි.

ජනතාව සමඟ එක්ව සිටගන්නා ලෙසත් යුක්තියේ අවි දූෂිත පාලකයින් දෙසට යොමුකරන ලෙස‍ත් මම සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් යලි යලිත් ඉල්ලා සිටිමි.

සමස්ත රටවැසි ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබ බලාපොරොත්තු වන කිසිදු වෙනසක් රාජපක්ෂ රූකඩ රනිල් වික්‍රමසිංහගෙන් බලාපොරොත්තු නොවන ලෙසත්, ඔහුට සුපුරුදු 88-89 බටලන්ද පන්නයේ භීශණකාරී, මර්ධනකාරී ජනතාව පෙළන පාලනයක් පමණක් බලාපොරොත්තු වන ලෙසත් ය.
අරගලයේ සැබෑ ජයග්‍රහණයකින් මෙපිට කිසිදු විසදුමක් නොමති බවත් රටට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවාදී වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවත් ජනතාව දැන්වත් තේරුම් ගත යුතුය.

කිසිදු සහන කාලයක් හෝ විරාමයක් ලබා නොදී දූෂිත පාලකයින් පන්නා දැමීමට ජනතාව එක පෙළට එකාවන්ව ඉදිරිපත් විය යුතුය” යි ඔහු සඳහන් කරනවා.

POPULAR

Recent articles