”ස්ථාවර රජයක් පත් නොකලොත් රට අකර්මණ්‍ය විය හැකියි” – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ ස්ථාවර රජයක් ඉක්මණින් ඇති නොවූවොත් රට අකර්මණ්‍ය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අඟවනවා.

ඉදිරියේදී ඉන්ධන ආනයනය කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය ශ්‍රී ලංකාවට සොයා ගත හැකි වේ දැයි විශාල අවිනිශ්චිතතාවයක් තිබෙන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ බී.බී.සී නාලිකාවේ නිව්ස් නයිට් වැඩසටහනට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනක් ලබා ගැනීමේ සඳහා පැවැත්වෙන සාකච්ඡා වල ප්‍රගතිය ස්ථාවර රජයක් පත්වීම මත රඳා පවතින බව ඔහු පෙන්වා දෙනවා.

මෙම මස අවසන් වන තෙක් අවම වශයෙන් ඩීසල් නෞකා 3කට සහ පෙට්‍රල් නෞකා එකකට හෝ දෙකකට මූල්‍ය පහසුකම් ලබා දීමට මහබැංකුවට හැකියාව ලැබුනත් ඉන්පසු පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට හැකිවේදැයි විශාල අවිනිශ්චිතතාවයක් තිබෙන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය සොයා ගත නොහැකි වුවහොත් එවිට රට වසා දැමීම හා සමාන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ උද්ගත විය හැකි බව ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටිනවා.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලදී ධනාත්මක ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුවත් එයද රඳා පවතින්නේ කෙතරම් ඉක්මණින් ස්ථාවර රජයක් පත්වන්නේද යන සාධකය මත බව ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩි දුරටත් පවසනවා.

POPULAR

Recent articles