රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ මෙරට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දී තිබෙනවා.

1949 මාර්තු මස 24 වෙනිදා උපන් රනිල් වික්‍රමසිංහ 1970 දශකයේ මැද භාගයේදී එක්සත් ජාතික පක්ෂය සමඟින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි අයෙක්. ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ බියගම ආසනයෙන්. 1977 පාර්ලිමේන්තු මැතිවරණය සහ ඔහුගේ මාමා වූ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා. ඉන් පසුව ඔහු යෞවන කටයුතු හා රැකියා අමාත්‍යවරයා ලෙස පත් වූ අතර, ශ්‍රී ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා ද වුණා.

අවසන් වූ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් පාර්ලිමේන්තුවේ අසුනක් ලබා ගැනීමට අසමත් වූ දේශපාලන පක්ෂ අතරින් එකකි එක්සත් ජාතික පක්ෂය. එයට මුළු රටින්ම ලබාගත හැකි වූයේ ඡන්ද 249,4352ක් පමණයි. එය සමස්ත වලංගු ඡන්ද වලින් 15%ක ප්‍රතිශතයකි.
රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ කොළඹ දිස්ත්‍රික්කයෙන් එජාප ය ලබාගත්තේ ඡන්ද 30,875ක්. එය 2.61% ක ප්‍රතිශතයක්. විශේෂත්වය වුණේ ඒ හැම ඡන්දයක්ම මනාපයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබීමයි. ඒ අනුව 2020 අගෝස්තු මහ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ එජාප නායකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව වුණේ 30,875ක්.

ඒ මහ මැතිවරණයෙන් එජාප වෙත හිමි වූ එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම ලබාගත් අතර ඔහු 2021 ජුනි 23 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. ඒ වයස අවුරුදු 73 දී යි.

පළමු වරට 1994 ඔක්තෝම්බර් 28 විපක්ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා එය 2000 අගෝස්තු 18 දක්වා දරනු ලැබුවා. ඉන් පසුව 2000 සැප්තැම්බර් 14 සිට 2000 ඔක්තෝම්බර් 10, 2000 ඔක්තෝම්බර් 18 සිට 2001 ඔක්තෝම්බර් 10, 2004 අප්‍රේල් 22 සිට 2010 පෙබරවාරි 09, 2010 මාර්තු 09 සිට 2010 අප්‍රේල් 09 දක්වා සහ 2010 අප්‍රේල් 22 සිට 2015 ජනවාරි 09 දක්වා හත් වරක් මෙරට විපක්ෂ නායකවරයා වුණා.

රනිල් වික්‍රමසිංහ මහතා 1993 මැයි 07 වෙනිදා පළමු වරට අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා එය අවසන් කර ගත්තේ 1994 අගෝස්තු 19 වෙනිදා යි. එයින් පසුව 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝම්බර් 26, 2018 දෙසැම්බර් 16 සිට 2019 නොවැම්බර් 21 දක්වා අගමැතිධුරය දැරූ ඔහු 2022 මැයි 12 වෙනිදා සිට තවමත් මෙරට අගමැතිවරයා යි.

මෙවර ඔහුව අගමැති තනතුරට පත්කළ මොහොතේ සිට ඊට එරෙහිව රටපුරා විරෝධතාවයන් ආරම්භ වූ අතර එය තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.
අද (15) මේ රටේ 8වන විධායක ජනාධිපති ලෙස මහජන විරෝධය මැද දිව්රුම් දෙනු ලැබුවේ එලෙස මනාප 30,875ක් ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා වීම විශේෂයක්. එම තනතුර තවමත් වැඩ බලන තනතුරක් වන අතර එය තහවුරු කිරීම හෝ වෙනත් අයෙකු ජනාධිපති ධුරයට පත් කිරීම සිදුවන්නේ පාර්ලිමේන්තුව රැස්වූ පසුව පැවැත්වෙන ඡන්ද විමසීමකිනුයි.

POPULAR

Recent articles