“මහජනතාව සහ රජයේ නිළධාරීන් අතර ගැටුම් ඇති කිරීමට දේශපාලඥයන් උත්සාහ කරනවා” – රාජ්‍ය පරිපාලන සේවා සංගමය

මහජනතාව සහ රජයේ නිළධාරීන් අතරත්, රජයේ නිළධාරීන් එකිනෙකා අතරත් ගැටුම් ඇති කිරීමේ කූට උපක්‍රමයකට දේශපාලඥයන් මාරුවී ඇති බව රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් ලක්ශාන්ත පවසනවා. ඇතැම් දූෂිත නිළධාරීන් සහ අවස්ථාවාදී දේශපාලකයන් මේ සදහා දායකවන බවත් නිවැරදි තොරතුරු නොදන්නා ජනතාව මීට සම්බන්ධ විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

“දේශපලඥයන් මේක කරන්නේ ඔවුන්ට ඇති ජනතා විරෝධය රජයේ නිළධාරීන් දෙසට හරවීමේ අරමුණෙන්. එනිසා ඇතැම් දේශපාලකයන් රජයේ නිලධාරීන්ට එරෙහිව සිදුකරන ප්‍රකාශ වහාම නැවැත් විය යුතුයි. ඒක හරියට, රටේ ප්‍රශ්න විසඳන්නේ නැතිව ජනතාව පාලකයාට ගහන්න ගෙදරට එනකොට අල්ලපු ‌ගෙදර මනුස්සයා පෙන්නලා මාරු වෙනවා ව‌ගේ වැඩක්. එයාලා ජනතාවගේ විරෝධය රජයේ සේවකයන් හා නිළධාරීන් දෙසට තල්ලු කරලා ගැලවෙන්න හදනවා.

දැන් මතයක් හදන්න උත්සහ කරනවා රජයේ සේවකයන් වැඩියි, ඒ නිසා ඒකත් මේ රටේ අර්බුධයට හේතු වෙලා තියනවා කියලා. නමුත් රට ගොඩනගන්න සැලැස්මකට වැඩ කරනවානම් තවත් රාජ්‍ය නිළධාරීන් හා සේවකයන් අවශ්‍යයි කියන එකයි අපේ මතය. හැබැයි සැලසුමක් නැත්නම් රාජ්‍ය නිළධාරීන්ගෙන් වැඩක් නෑ තමයි.

මේ පාලකයන් නිළධාරීන් සම්බන්ධයෙන් කරන ඇතැම් ප්‍රකාශ නිසා ජනතාවට රජයේ නිළධාරීන් ගැන පිළිකුලක් හා කේන්තියක් එන්න පුළුවන්. දූෂිත නිලධාරීන්ව ආරක්ෂා කරන්නේ දූෂිත දේශපාලකයන්. කවුරු වුණත් දූෂිතයන්ට දඩුවම් කරන්න ඕනේ. එහෙම නැතුව බොරුවට, නිකරුනේ නිලධාරීන්ට චෝදනා කරලා වැඩක් නැහැ. දූෂිතයන්ට දඩුවම් කිරීම ගැන අප් කිසිම විරෝධයක් නෑ. පටු දේශපාලන වුවමනාවට මහජනතාව හා රජයේ නිළධාරීන් අතර ගැටුමක් ඇති කිරීම භයානකයි” යි ලේකම් ප්‍රදීප් ලක්ශාන්ත පවසනවා.

POPULAR

Recent articles