නසීර් අහමඩ් හජ් වන්දනාවේ

මෙරට ඉස්ලාම් භක්තිකයින් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව පසුගිය දා පවසා තිබුණා.

ඒ රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන්. එම තීරණය ප්‍රකාශයට පත්කරන අවස්ථාව වන විටත් මෙවර හජ් වන්දනාව සඳහා මෙරට ඉස්ලාම් බැතිමතුන් 1,585 දෙනෙකු සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටියා.

දැන් යළිත් මෙවර හජ් වන්දනාවේ සහභාගි වීම සඳහා තමන් සෞදි අරාබියේ මක්කම බලා පිටත්ව ගිය බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පවසනවා. ඊයේ (03) FB සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ මෙම වසරේ ශ්‍රී ලංකා හජ් දූත පිරිසේ නායකත්වය තමන් වෙත පවරා ඇති බවයි.

අමාත්‍යවරයාත් සමඟ පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මර්ජන් ෆලීල් සමඟ වන්දනා ගමන සඳහා පිටත්ව යන ඡායාරූපයක්ද ඔහු විසින් පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ සෞදිය අතර බලශක්ති සහයෝගීතාව සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ නියෝජිතයා ලෙස අමාත්‍ය නසීර් අහමඩ් ජූලි 2 සිට 5 දක්වා සෞදි අරාබියේ සංචාරය කරන බවයි මීට පෙර නිවේදනය කළේ.

POPULAR

Recent articles