සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් වැසී යාමේ අවදානමක

ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් වැසී යාමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙනවා.

මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා Ceypetco සහ LIOC ඉන්ධන පිරවුම් හල්වලින් අවශ්‍ය ඩීසල් ලබා ගෙන ක්‍රියාත්මක වෙන බවයි කියන්නේ. එහෙත් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී මුහුණ දීමට සිදුව ඇත්තේ බරපතළ දුෂ්කරතාවයන්ට බව එම ඇඟලුම් හල හිමිකාරිත්වය පවසනවා.

ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු කියන්නේ බොහෝ අවස්ථාවලදී ඔවුනට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන බවයි.

ප්‍රධාන පෙළේ මහා පරිමාණ ඇඟළුම් කම්හල් සිය ඇඟලුම් නිෂ්පාදන ඇණවුම් වලින් යම් කොටසක් නිෂ්පාදනය සඳහා උපකොන්ත්‍රාත්කරුවන් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් වලට බාර දෙන හෙයින් එම ඇඟලුම් කම්හල් අකර්මණ්‍යවීම මහා පරිමාණ කර්මාන්තවලටද ලොකු බලපෑමක් වනු ඇතැයි ඔහු කියනවා.

මීට අමතරව ඇඟලුම් කම්හල්වල නිලධාරීන්ට සහ සේවකයන්ට සිය පෞද්ගලික වාහනවලින් පැමිණීමේ අවස්ථාව පෙට්‍රල් හිඟය නිසා බොහෝ දුරට අහිමිවීමෙන් ඇඟලුම් කම්හල්වල කාර්ය සාධනයට විශාල බලපෑමක්වී ඇතැයිද පැවසෙනවා.

මෙම තත්වය සැලකිල්ලට ගෙන සිය සේවකයන් ප්‍රවාහනය සඳහා පෙට්‍රල් කෝටාවක් ලබාදෙන්නැයි තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මෙම ඇගලුම් හල් හිමියන් සනදහන් කරනවා.

මෙරට ඇඟලුම් නිෂ්පාදන ආයතන වලට විදේශයන්ගෙන් ලැබෙන ඇණවුම් රටේ පවතින අර්බුදය හේතුවෙන් වෙනත් රටවලට හැරී යෑමේ අවදානමක්ද මතුව ඇතැයි ෆීලික්ස් ප්‍රනාන්දු මහතා කියනවා. ඒ තත්වය මඟ හරවා ගැනීම සඳහා ඇණවුම්කරුවන් සමඟ සාකච්ඡා පවත්වමින් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයි ඔහු පවසනවා.

POPULAR

Recent articles