“එක්සත් ජාතික පක්ෂය සෑම අවස්ථාවකම තරුණයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා” –

තරුණ ප්‍රජාව දිනා ගැනීමෙන් තොරව සාර්ථකත්වය උදාකර ගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසනවා. ඔහු කියන්නේ තරුණ සමාජයේ විශ්වාසය දිනාගැනීමට නොහැකි වූ සෑම අවස්ථාවකම මෙරට තුළ දේශපාලන හා සමාජයීය වශයෙන් බිදවැටීම් ඇති වූ බවයි. ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙත සිය අයිතිවාසිකම් භුක්ති විදීම උදෙසා පැහැදිලි නිදහසක් හිමි වී තිබෙන්නේදැයි යන කාරණය පිළිබද නැවත විමසා බැලීමක් සිදුකිරීමට කාලය පැමිණ තිබෙන බවත් ඊට දේශපාලන බේද අදාළ කරගැනීමේ අවශ්‍යතාවක් නැති බවත් ලේකම්වරයා පවසනවා.

තරුණයින් ස්වභාවයෙන්ම අරගලකරුවන් බව පැවැසූ රංගේබණ්ඩාර කියන්නේ ඔවුන්ගේ හැසිරීම් අසාධාරණ හා අයුක්ති සහගත ලෙස හැදින්විය නොහැකි බවයි. නිරත්නරයෙන් තාරුණ්‍ය අසාධාරණයට එරෙහිව පෙනී සිටින බවද එම තත්ත්වයන් පාලනය කළ හැක්කේ තරුණයාගේ සාධාරණ ඉල්ලීම් නිසි ලෙස ඉටු කිරීමෙන් පමණක් වන බවද ඔහුගේ අදහසයි.

“එක්සත් ජාතික පක්ෂය රට පාලනය කළ සෑම අවස්ථාවකම තරුණයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. ජාතික තරුණ සේවා සභාව, යොවුන් සේනාංක, තාක්ෂණ මධ්‍යස්ථාන වැනි දේ පිහිටුවමින් තරුණ ශක්තීන් ප්‍රබල කිරීමටත්, එම ශක්තීන් රටේ සංවර්ධනය වෙනුවෙන් දායක කරගැනිමටත් අප බොහෝ විට කටයුතු කර තිබෙනවා. නමුත් තරුණයා සමග වැඩ කිරීමේ කලාවක් අප තවමත් නිර්මාණය කරගැනීමට අපොහොසත් වී තිබෙනවා. එම තත්ත්වය ලොකු අඩුපාඩුවක්. එමෙන්ම තරුණයා ලෝකය සමග නිරන්තරයෙන් වෙනස්වන තැනැත්තෙක්. ඒ වෙනස දේශපාලන වශයෙන් අවබෝධ කරගැනීමටත් අපි රටක් ලෙස සමත්වී නැහැ. තරුණයාගේ කෝපය සාධාරණයි කියන්නේ ඒ නිසයි.

සිත් දිනාගනිමින් තරුණයා සමග ඉදිරියට යාමට හැකි වැඩපිළිවෙලක් හදුන්වාදීම අත්‍යාවශ්‍යයි. රතුද කොලද නිල්ද හෝ ජාති, ආගම් භේද හෝ ඊට අදාල කර ගත යුතු නැහැ. එම වැඩපිලළිවෙල සම්පාදනය විය යුතු වන්නේ රටේ අනාගතය උදෙසාමයි. එවැනි ක්‍රියාවලියකින් තොරව කිසිදු දේශපාලන ප්‍රවාහයකට සාර්ථක ගමනක් අපේක්ෂා කළ නොහැකියි.

අපි මේ වන විටත් තරුණ ප්‍රජාවගේ අදහස්වලට සවන්දීමේ පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මෙම ක්‍රියාවලිය ඉතා ප්‍රතිපලදායක ලෙස ඉදිරියට මෙහෙයවීම සියළු පාර්ශවවලට පැවැරෙන වගකීමයි” යනුවෙන් එජාප ලේකම්වරයා පවසනවා.

POPULAR

Recent articles