“මේක කප්පම් ගත්ත අපරාධකාරයෙක් කැබිනට් ඇමති ධුරයක් දරන අමුතු රටක්” -විජිත හේරත්

‘අපරාධකරුවෙකු’ රටක කැබිනට් අමාත්‍ය ධුරයක් හෙබවීම කිසිසේත් සුදුසු නොවන බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසන්නේ.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 2 බරපතළ වැඩ සහිත 5කට අත්හිටවූ සිර දඬුවමක් නියම කිරීම පිළිබඳව අදහස් දක්වමින්. එවැනි පුද්ගලයින් අමාත්‍ය මණ්ඩලයේ තවදුරටත් තබා ගන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම ජනාධිපතිවරයාට ද ඇතැයි ඔහු පවසනවා.

“හරිනම් මේ ඇමතිවරයා ඇමැතිකමින් ඉල්ලා අස්වෙන්න ඕනේ. දඬුවම් නියම වුනෙ මහාධිකරණයකින්. මේ නිකම් චෝදනාවක් නෙවෙයි. කප්පම් ගැනීමක්. පොඩි ගණනකුත් නෙමෙයි නේ. රුපියල් මිලියන 64ක කප්පමක්. එවැනි බරපතළ අපරාධයකට වැරදිකරු විධියට උසාවියෙන් තීන්දුවක් දුන්නේ එවකට බස්නාහිර පළාතේ මහ ඇමතිවරයාට. මේ තීන්දුව දෙද්දී ඔහු කැබිනට් අමාත්‍යවරයෙක්. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා.

රටේ ජනාධිපතිවරයාටත් වගකීමක් තියෙනවා, එවැනි අයව තවදුරට ත් කැබිනට් මණ්ඩලයේ තියාගන්නේ නැතුව ඉන්න. බරපතළ වැඩ සහිතව අත්හිට වූ සිර දඬුවමක් දුන්න ම එවැනි අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්නේ කොහොමද. තියාගෙන ඉන්නේ කොහොමද. ඒක රටකට කොහෙත් ම සුදුසු නැහැ. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක කප්පම් ගත්ත අපරාධකාරයෙක් කැබිනට් ඇමති ධුරයක් දරන අමුතු රටක් තියෙනවානම් ගෝඨා – රනිල් පාලනය කරන මේ රට විතරයි” යයි මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

POPULAR

Recent articles