ආර්ථික අභියෝග අවම කිරීමට විදේශ ඇමති චීනයේ අඛණ්ඩ සහය ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග අවම කිරීම සඳහා චීන රජයේ අඛණ්ඩ සහය ලබා දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොංග්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ චීන තානාපති සමග පසුගිය 02 වනදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළ බවයි.

ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහය පිළිබඳව විස්තර කර ඇති තානාපතිවරයා ද්විපාර්ශ්වික කටයුතු හා මෙරට වත්මන් ප්‍රවණතා හා සබැඳි කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

තවද, දෙරට අතර පවතින බහුවිධ සබඳතා හා සමීප මිත්‍රත්වය දෙපාර්ශ්වයේ ම ඇගයීමට ලක්ව ඇති අතර වත්මන් තත්ත්වය හමුවේ චීනය ලබා දෙන නොමසුරු සහයෝගය ද විදේශ කටයුතු අමාත්‍යවරයා ඇගයිමට ලක් කර තිබෙනවා.

සාකච්ඡාව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

POPULAR

Recent articles