නියෝජය කතානායක ධුරයට රන්ජිත් සියඹලාපිටිය

හිටපු නියෝජය කතානායක රන්ජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා පසුගියදා එම ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත්කරගැනීම අද (05) සිදුවුණා. ඊට නම් දෙකක් යෝජනාවීම හේතුවෙන් නියෝජ්‍ය කතානායකවරයෙක් තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබුවා. ආණ්ඩුවෙන් ස්වාධීන වූ බව කියන පොහොට්ටුවේ මන්ත්‍රී රන්ජිත් සියඹලාපිටිය සහ සමගි ජන බලවේගය මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා යෝජනා වූ මන්ත්‍රීවරු දෙදෙනායි. ආණ්ඩුව නියෝජනය වෙනුවෙන් කිසිවෙකුගේත් නම නියෝජය කතානායක ධුරය සඳහා යෝජනා වී තිබුණේ නැහැ. එහෙත් විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් කියා සිටියේ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා විසින් යෝජනා කළ සුසිල් ප්‍රේම් ජයන්ත මන්ත්‍රීවරයා විසින් ස්ථිර කළ රන්ජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂයේ සහය දෙන බවයි.

සමගි ජන බලවේගය මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර්ව යෝජනා කරමින් සජබ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ ආණ්ඩු පක්ෂයේ සහයෝගය රන්ජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ලබා දෙන නිසා නියෝජ්‍ය කතානායක ධුරයට සමගි ජන බලවේගය මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර්ව යෝජනා කරන බවයි. එය ස්ථිර කළේ සජබ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.

අවසානයේ නියෝජ්‍ය කතානායක තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවති අතර ඡන්ද 65ක් ලබාගත් මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් පරාජය කරමින් ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබූ ඡන්ද 148ක් ලබාගත් රන්ජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා නව නියෝජය කතානායක ලෙස තේරී පත්වූනා. ඡන්ද විමසීමේදී ඡන්ද 3ක් නරක් වූ ඡන්ද බව කතානායකවරයා පැවසුවා.

POPULAR

Recent articles