“නව අයවැයක් ඉදිරිපත් කර බදු 15% දක්වා වැඩි කළ යුතුයි” – මුදල් ඇමති

පවතින ආර්ථික අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර නොගත හොත් දැඩි අර්බුදයකට ඉදිරියේදී මුහුණදීමට සිදු වන බව මුදල් අමාත්‍ය අලී සබ්රි පවසනවා.

2021 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත ආදායම බිලියන 1500 ක් බවත් වියදම ලෙස බිලියන 3522 ක් ලෙස සටහන් වූ බවත් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද (04) සඳහන් කර සිටියා.

එසේම රටේ බදු ආදායම 24% සිට විවිධ රජයන් විසින් ක්‍රම ක්‍රමයෙන් අඩු කරමින් අද වන විට එම ආදායම 8.7% ක් දක්වා අඩුවී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මුදල් අමාත්‍යවරයා ප්‍රකාශක කලේ 2021 වසරේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට බිලියන 845 ක් වැය කර ඇති අතර ඊට අමතරව විශ්‍රම වැටුප් ගෙවීම ඇතුළු අනෙකුත් කටයුතු සඳහා බිලියන 592 ක් වියදම් කර ඇති බවයි.

2019 අවසන් වන විට බිලියන 7 ක්ව පැවති මෙරට විදේශ සංචිතය අද වන විට මිලියන 50 ක් වත් නොමැති බවත් බදු වැඩි කළ යුතු අවස්ථාවක බදු කපා හැරීම ඉතිහාසගත වරදක් බවත් ඔහු ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතුළත්වීමට මාස 6 ක කාලයක් ගතවනු ඇති අතර එතෙක් මෙරටට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මේ වන විට රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම ඉතාමත් ඉක්මනින් නව අයවැයක් ඉදිරිපත් කර ආදායම් බදු 15% දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මුදල් අමාත්‍ය අලී සබ්රි වැඩිදුරටත් සඳහන් කර සිටියා.

POPULAR

Recent articles