රඹුක්කනදී වෙඩි තැබූ පොලිස් නිලධාරීන් අද (29) අධිකරණයට

රඹුක්කන උද්ඝෝෂණයේදී වෙඩි තැබි‍මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කිර්තිරත්න හා පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව සඳහන් කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කොළඹ අධිකරණයටත් අනෙක් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මහනුවර අධිකරණයටත් ඉදිරිපත් කරන බවයි.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කිර්තිරත්න නරාහෙන්පිට පොලිස් රෝහලේදීත්, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කුණ්ඩසාලේ පොලිස් රෝහලේදීත් ඊයේ (28) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටින්නේ අදාළ සිද්ධියේදි කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වෙඩි තැබීමට අණ කර ඇති අතර අනෙක් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇති බවයි.

රඹුක්කන උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ කළ, එම අවස්ථාවේ කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා හා වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝග කළේ පසුගිය 27 වනදායි.

පසුගිය 19 වනදා රඹුක්කනදී පැවති විරෝධාතවක් විසුරුවා හැරීමට ‍පොලිසිය කළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයින් 13 ක් තුවාල ලැබුවා.

POPULAR

Recent articles