”සෑම පැයකටම ශ්‍රී ලාංකිකයින් 32ක් රට හැර යනවා” – බැංකු වාර්තා අනාවරණය කරයි

මේ වන විට සෑම පැයකටම ශ්‍රී ලාංකිකයන් 32ක් විදේශ රැකියා සොයා පිටත්ව යනවා. ඒ බව මහ බැංකු වාර්තා අනාවරණය කරනවා. මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් සෑම දිනකම පුද්ගලයින් 777 දෙනා බැගින් රට අත්හැර ගොස් තිබෙන බවයි එම වාර්තා පවසන්නේ. මෙම සංඛ්‍යා සියල්ලම නීත්‍යනුකූලව මෙරටින් පිටව යන පුද්ගලයන් පිළිබඳවයි.

ඉන්දියාවට හා ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ක්‍රම මගින් පිටත්ව යන ප්‍රමාණය මේ සංඛ්‍යා වලට ඇතුළත් වන්නේ නෑ. පසුගිය සිකුරාදා (05) නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමට ගිය ලාංකිකයන් 46 දෙනෙක් එරට රජය විසින් හරවා එවා තිබෙනවා. පසුගිය මැයි මාසයේ සිට මෙසේ හරවා එවන ලද ලාංකිකයන් ගණන 183ක්.

2021 වසරේ මුල් මාස හයේදී විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් ගණන 30,757ක්. නමුත් මේ වසරේදී පළමු මාස හය තුළ පමණක් 117,952ක් විදෙස් ගතවී තිබෙනවා. ඒ කලින් වසරට සාපේක්ෂව සිව්ගුණයක වැඩිවීමක්. මෙතරම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව හැරයාමට හේතු වී ඇත්තේ රට තුළ වර්ධනය වෙමින් පවතින උග්‍ර ආර්ථික අර්බුදයයි. තමන්ට ජීවත්වීමට ප්‍රමාණවත් රැකියාවක් නොලැබීමේ අවදානම, අඩු වැටුප් හෝ වැටුප් නොලැබීම, වැඩි පැය ගණනක් සේවය කිරීමට සිදුවීම, ශ්‍රම සූරාකෑම, මානව හිමිකම් කඩවීම යන කරුණු වලට මුහුණ දීමට සිදුවුවත් ඒ අවදානම නොතකා මෙලෙස රට හැරයන බවයි කියන්නේ. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ රට තුළ ජීවත්වීම අවිනිශ්චිත සහ එන්න එන්නම දුෂ්කරවීම නිසා තමන් අවදානමක් දරාගනිමින් රටින් පිටවන බවයි.

ආබාධ වලට ලක්වීම හෝ මරණයට පත්වීම පවා නොසලකා අනාරක්ෂිත මාර්ගවලින් පවා විදෙස්ගත වීමට ලාංකිකයන් පෙළඹී තිබෙනවා.

මේ වසරේ මුල් මාස 6 තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1610ක් පමණයි. එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 47% ක්. ජුනි මාසයේ ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 274ක්.

ටර තුළ තත්වය කෙතරම්ම දරුණුද යත් එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගිවී සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහ දෙනෙක්ද මේ වන විට අතුරුදහන්ව ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. ඊට පෙර වාර්තා වුණේ 9 දෙනෙක් කණ්ඩායමෙන් ඉවත්ව අතුරුදහන්වී ඇති බවයි.

POPULAR

Recent articles