ලෝක මැලේරියා දිනය අදයි (25)

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා.

වෛද්‍යවරු පවසන්නේ මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් බවයි.

ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212ක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබෙන අතර ආසන්න වශයෙන් රටවල් 91ක තවමත් මැලේරියා රෝගය පවතිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව 2015 වසරේ ලෝක ජනගහනයෙන් මිලියන 214කට මැලැඒරියාව වැළදී ඇති අතර ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව 429,000 ක් වනවා.

මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වන්නේ අප්‍රිකානු කලාපයෙනුයි.

2015 වසරේ වාර්තා අනුව මැලේරියා රෝගයෙන් සිදු වූ මරණ අතරින් වැඩියෙන් වාර්තා වන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් වනවා. එය 306,000කි. සෑම මිනිත්තු දෙකකදීම මැලේරියාව නිසා අඩුම වශයෙන් එක් ළමා මරණයක් සිදුවන බවට වාර්තා වී තිබෙනවා.

දකුණු හා නැඟෙනහිර ආසියානු කලපයේ රටවල් 10ක බිලියන 1.4ක ජනගහනයක් මැලේරියාව වැළදීමේ අවදානමක් සහිතව ජීවත් වෙති.සාර්ක් කලාපයේ රටවල් අතරින් ශ්‍රි ලංකාව සහ මාලදිවයින පමණක් මැලේරියාව රටෙන් තුරන් කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධනය මඟින් 2016 සැප්තැම්බර් 06 දින දකුණු හා නැඟෙනහිර ආසියාතික කලාපීය සමුළුවේ 69 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස සහතික කරනු ලැබුවා.

මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවේ යළි මැලේරියාව හිස එසවීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අද (25) දිනයේත් ක්‍රියාත්මක බව ජාතික මැලේරියා මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ 2013 වසරේ සිට මෙම වසරේ ඊයේ (24) දිනය දක්වා මැලේරියා රෝගීන් 447 ක් මෙරටින් වාර්තා වී ඇති බවයි.

ඔවුන් සියලුම දෙනා මැලේරියාව පවතින රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව ඔහු සඳහන් කරනවා.

ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසුවේ, මැලේරියා රෝගීන්ට සහ මැලේරියාව පවතින රටවල් සදහා පිටත්වන පුද්ගලයින් සඳහා සැපයෙන ඹෟෂධ 2024 වසර දක්වා මෙරට සතුව පවතින බවයි.

මැලේරියා පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් වසරක් යන තෙක් උණ රෝග ලක්ෂණ ඇති වුවහොත්, නොමිලේ රැධිරය පරීක්ෂා කර ගැනීමට යොමුවන ලෙස ද ඔහු පවසනවා.

POPULAR

Recent articles