“ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් තිබූ සුජාතභාවය දැන් ඉවරයි” – නීතිඥ උපුල් කුමාරප්පෙරුම

මේ ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් තිබෙන සුජාතභාවය දැන් ඉවර බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසනවා. සමාජයේම ජීවත්වෙන පොලිස් නිලධාරීන් තුවක්කු උස්සන්න නිරායාසයෙන් පෙළඹෙන්නේ නැති බව ඔහු කියනවා. ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් සහ සමාජ ආරක්ෂන වශයෙන් ඇතිවී තිබෙන ව්‍යසනයට ගොදුරුවී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වශයෙන් පත්කරන්න ක්‍රියාකළ විශාල පිරිසක් බවයි ඔහු සඳහන් කරන්නේ. විශේෂයෙන්ම උගත්තු කියන කොටසත් ඉතාමත්ම අසික්ෂිත විදිහට ගෝඨාභය චරිතය පිම්බු බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසනවා. ඔවුන් මේ ඇතිවී තිබෙන තත්වය සම්බන්ධ වගකීම් භාරගන්න ඕනෑ බවයි ඔහු කියන්නේ. ලක්ෂ හැටනවයක් ඡන්දය දුන්නේ වියත්තු කියන කොටස සහ වෘත්තිකයන් නිසා බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසනවා.

“ගෝඨාභය රාජපක්ෂ ගැන සමාජය දැක්කේ කොළඹ නගරයේ පේමන්ට්වල ගල් අල්ලපු එකෙන්. අයියා සල්ලි දුන්නා. මල්ලී මේ වැඩටික කළා. පාර දෙපැත්තේ මල් පෝච්චි තියලා ගල් ඇල්ලුවා. පාරේ ගල් අල්ලලා පාර දෙපැත්තේ මල් හිටෙව්වාම ජනාධිපතිකම කරන්න සුදුසුයි කියලා මේ රටේ මිනිස්සු හිතුවා” නීතිඥ උපුල් කුමාරප්පෙරුම කියා සිටිනවා.

“නීතිඥයෝ හැටියට අපි ප්‍රශ්නයක් දිහා බලන්නේ නීති රාමුව ඇතුළෙන්. පාසල් ගුරුවරයෙක් හිතන්නේ ළමයින් යම් වෘත්තීයකට යොමු කරවන්න. මේ වගේ තම තමන්ගේ වෘත්තීන් අනුව තමන් වෙත එන සමාජීය හා දේශපාලන ප්‍රශ්න ගැන ගොඩක් අය හිතනවා. ගෝඨාභය රාජපක්ෂ වෘත්තියෙන් හමුදා නිලධාරියෙක්. ඔහු ඇමෙරිකාවට ගිහිල්ලා නැවත ලංකාවට ඇවිත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට යුද්ධයේ අවසාන කොටසට සම්බන්ධ වුණා. ඔහු ජනාධිපතිවරයා හැටියට පත්වුණාට පස්සෙත් විවිධ තනතුරුවලට හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් පත්කර ගත්තා. ඔහු දිගින් දිගටම විශ්වාස කරන්නේ මිලිටරි ක්‍රමයයි. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට සිටියදී වැලිකඩ ඝාතන, රොෂේන් චානක ඝාතනය, රතුපස්වල ඝාතනය වගේ සිදුවීම් ගණනාවක් තිබෙනවා. රතුපස්වල ඝාතනයයි, රඹුක්කන ඝාතනයයි අතර වෙනසක් නැහැ. රතුපස්වලදී වතුර ඉල්ලූ ජනතාවට වෙඩි තිබ්බා. මෙතනදී තෙල් ඉල්ලූ ජනතාවට වෙඩි තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ මිලිටරි සංස්කෘතියක් ගොඩනගනවා. මේ යටතේ ගෝඨාභය රාජපක්ෂ විශ්වාසය තබන්නේ මිලිටරිය ගැන පමණයි” ජාතික ජන බලවේගයේ නීතිඥයෝ නියෝජනය කරමින් නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කරනවා.

“පොලිස් නිලධාරීන් කිසි බයක් සැකක් නැතිව නිරායුධ මිනිසුන්ට වෙඩි තියන්නේ නැහැ. ඔවුන් මේක කරන්න පෙළඹෙන්නේ ඉහළින් අණත් එක්ක ‘අපි උඹලව බේරගන්නවා’ කියන පෙළඹවීමත් එක්කයි. මනුෂ්‍ය ඝාතනයක් කළාට පස්සේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, නාමල් රාජපක්ෂ ශෝක ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මේවා ඉහළ තැනකින් ලැබෙන විධානයන් අනුව කරන සාහසික අපරාධ. සමාජයේම ජීවත්වෙන පොලිස් නිලධාරීන් තුවක්කු උස්සන්න නිරායාසයෙන් පෙළඹෙන්නේ නැහැ. ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් සහ සමාජ ආරක්ෂන වශයෙන් ඇතිවී තිබෙන ව්‍යසනයට ගොදුරුවී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වශයෙන් පත්කරන්න ක්‍රියාකළ විශාල පිරිසක්. විශේෂයෙන්ම උගත්තු කියන කොටසත් ඉතාමත්ම අසික්ෂිත විදිහට ගෝඨාභය චරිතය පිම්බුවා. ඔවුන් මේ සම්බන්ධ වගකීම් භාරගන්න ඕනෑ. ලක්ෂ හැටනවයක් ඡන්දය දුන්නේ වියත්තු කියන කොටස සහ වෘත්තිකයන් නිසයි. ගෝඨාභය රාජපක්ෂ ගැන සමාජය දැක්කේ කොළඹ නගරයේ පේමන්ට්වල ගල් අල්ලපු එකෙන්. අයියා සල්ලි දුන්නා. මල්ලී මේ වැඩටික කළා. පාර දෙපැත්තේ මල් පෝච්චි තියලා ගල් ඇල්ලුවා. පාරේ ගල් අල්ලලා පාර දෙපැත්තේ මල් හිටෙව්වාම ජනාධිපතිකම කරන්න සුදුසුයි කියලා මේ රටේ මිනිස්සු හිතුවා. මෙන්න මෙතනයි වැරදිච්ච තැන. මේ වැරැද්ද සමාජයට නිවැරදි කරන්න ඕන නැද්ද? මේ ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් තිබෙන සුජාතභාවය දැන් ඉවරයි.

රට පුරා තිබෙන්නේ කවුරුවත් මෙහෙයවන උද්ඝෝෂණ නොවෙයි. තෙල් ගහගන්න එන මනුස්සයාට තෙල් නැතිවෙන කොට පාර හරස් කර, උද්ඝෝෂණ කරනවා. ගෑස් පෝලිමේ කෙනා ගෑස් නැතිව උද්ඝෝෂණය කරනවා. මේවා ජනතාව ගෙන්ම එන උද්ඝෝෂණ. ඔය උද්ඝෝෂණවලට සහභාගීවන තුනෙන් දෙකක් ගෝඨාභයට ඡන්දය දුන් මිනිස්සු. ගෝඨාභයට තිබුණු ජනවරම දැන් අවසන්. මේ ආණ්ඩුවට තිබුණු ජනවරම දැන් අවසන්. දෙයියන්ගේ නාමයෙන් දැන් ආණ්ඩුව අයින් වෙන්න ඕනෑ. මේ රට දැන් අපේ දරුවන්ට ජීවත් වෙන්න තියෙන්න ඕනෑ. අපි රටකින් රටකට මාරුවෙන්න ආව මිනිස්සු නොවෙයි. දැන්වත් කරුණාකරලා මෙතනින් අයින් වෙන්න. නැත්නම් මේ රට මීට වඩා ඛේදාන්තයකට යන්න පුළුවන්” බව නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කරනවා.

POPULAR

Recent articles