“බෙල්ල ගහලා ගියොත් තැල්ල බඳින්න බෑ” – අලි සබ්රි

බෙල්ල ගහලා ගියොත් තැල්ල බඳින්න බැරි බව හිටපු මුදල් අමාත්‍ය අලී සබ්රි පවසනවා. ඒ අනුව රට තුළ ඇතිව තියෙන තත්ත්වයට තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව ද හිටපු මුදල් අමාත්‍ය වරයා කියා සිටියා. අද (07) දින පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මෙම අදහස් පළ කළා.

නිවෙස් තුළ විදුලිය, ගෑස්, ඉන්ධන නොමැති විට එම පීඩනය ජනතාව පිටකිරීම ඉතා සාධාරණ බව ද හිටපු මුදල් අමාත්‍ය වරයා වැඩිදුරටත් කියා සිටියා

”මිනිස්සුන්ට ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොරව, සාමකාමීව විරුද්ධත්වය ප්‍රකාශ කිරීම අයිතියක්. අයිතියක් විතරක් නෙමෙයි. ඒක යුතුකමක්. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඒක ප්‍රචණඩත්වය කරා යනවා නම් අපිට ඒක කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ සිටින රොෂාන් රණසිංහගේ, කෙහෙළිය රඹුක්වැල්ලගේ, කාංචනගේ ඇතුළු මිනිස්සුන්ගේ ගෙවල් වටකරලා ගල් ගහලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ? ඒක පිටිපස්සේ කවුද ඉන්නේ.

මේ තත්ත්වය තේරුම් ගන්න. මට මතකයි ඒ කාලේ අලෙවි මව්ලානා මහත්මයා කියනවා, “තැල්ල බඳින්නත් බෙල්ල තියෙන්න ඕනේ කියලා” බෙල්ල ගහලා ගියොත් තැල්ල බඳින්න බෑ. ඒක නිසා ඔබතුමන්ලා මේ ආර්ථිකය හදන්නත් මේ රට ආරක්ෂා කරගන්න. ඒ නිසා මම නැවත වතාවක් ආරාධනා කරනවා අන්තර් පාලනයකට සම්බන්ධ වෙන්න. ඔබතුමන්ලා සතු විශේෂඥ දැනුම රට වනුවෙන් ආයෝජනය කරන්න.

අද ඔයගොල්ලෝම ඇවිත් හිටගෙන කියනවා ව්‍යවස්ථාවෙන් එළියට ගිහින් විසඳුම් හොයන්න කියලා. අද ඕක කියයි. ඉස්සරහට ඕකෙන් වෙන බලපෑම කල්පනා කරලා බලන්නට ඕනේ. කිසිම මිනිහෙක්ට මේ රටේ ආණ්ඩුවක් කරන්න වෙන්නේ නෑ. අවුරුද්දෙන් අවුරුද්දට මිනිස්සු පාරට ගහයි. මොකද අපි අමාරුම කාලෙක ඉන්නේ. කවුරු ආවාත්, ශක්‍ර දෙයියෝ ආවත්, අපිට වෙනවා විශාල පරිත්‍යාගයක් කරන්න වෙනවා. අපි එකිනෙකාට ඇඟිල්ල දික්කරලා මේකෙන් එළියට එන්න බෑ.

අපේ හර්ෂ මැතිතුමාට අපි ආරාධනා කරනවා මේක ඇවිත් භාරගන්න කියලා. අපි දෙන්නම් ඔබතුමාට ඇවිල්ලා ඔයතුමා කරන්න. අපි උදව් කරන්නම්. ගරු හර්ෂ මැතිතුමනි, ඔබතුමා දන්නවා ඔයතුමන්ලාට හිටිය හොඳම බොස් තමා මංගල සමරවීර මහත්තයා කියලා. මංගල සමරවීර ආර්ථික විද්‍යාඥයෙක් නෙමෙයි. එතුමා හොඳ මුදල් ඇමති කෙනෙක් කියලා ඔබතුමා කියනවා. එරාන් වික්‍රමරත්නත් කියනවා. මම හිතන්නේ ආර්ථික විද්‍යාඥයෙක් වෙන්න ඕනේ නෑ හොඳ මුදල් අමාත්‍යවරයෙක් වෙන්න. හොඳට ඇහුම්කන්න දෙන්න ඕනේ, හොඳට තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මේ ප්‍රශ්නේ බරපතළකම තේරුම් අරන් තියෙනවා. ඔබතුමන්ලාට අපිත් එක්ක එකතුවෙලා විසඳුම් හොයන්න කියලා ආරාධනා කරලා තියෙනවා.”ලෙස හිටපු මුදල් අමාත්‍ය වරයා කියා සිටියා”

POPULAR

Recent articles