කටුනායක ගුවන් තොටුපළ සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරීමට උපදෙස්

කටුනායක ගුවන් තොටුපළ සේවකයින්ට අද (7) නිවසේ සිට රාජකාරි කරන ලෙස උපදෙස් දී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ පවසනවා.
එහි උප සභාපති රජීව් සූරියආරච්චි සඳහන් කළේ, ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඩීසල් තොග නොමැති වීම හේතුවෙන් ඔවුන් මේ පියවර ගත් බවයි.

ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණක් සේවකයින් කැඳවනු ඇති.

රජිව් සූරියආරච්චි මහතා පැවසුවේ ගුවන් තොටුපළ සඳහා අවශ්‍ය ඉන්ධන තොග දින කිහිපයක සිට ඇණවුම් කළ ද මෙතෙක් එම ඉන්ධන තොග නොලැබුණු බවයි.

කෙසේ වෙතත් ගුවන් තොටුපළ රෙඩාර් පද්ධතිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලශක්තිය ගැටලුවකින් තොරව ලබා ගැනීමට හැකියාව පවතින බව ද උප සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළේ ගුවන් යානා ඉන්ධන තොග ප්‍රමාණවත් ලෙස පවතින බවයි.

POPULAR

Recent articles