“යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීමට කිසිදු තීරණයක් ගෙන නෑ” – විදේශ අමාත්‍යාංශය

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට රැගෙන ඒමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මාධ්‍ය වෙත පවසා ඇත්තේ එම ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් දිවයිනට පැමිණීමට මෙතෙක් කිසිදු ඉල්ලීමක් ද සිදු කර නොමැති බවයි.

කෙසේවෙතත් එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සොයා බලන ලෙස තුර්කියේ අන්කාරහි පිහිටි තානාපති කාර්යාලය වෙත දැනුම් දුන් බව ඔහු සදහන් කරනවා.

එමෙන්ම මේ වන විට එරට රැදී සිටින්නේ ශ්‍රී ලාංකිකයින් 50කටත් අඩු සංඛ්‍යාවක් බවත් ඒ අතරට ඉගෙනුම ලබන සිසුන් පිරිසක්ද අයත් බවත් විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ඔවුන් පිළිබඳ සොයා බැලීමට යුක්‍රේනයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයක් නොමැති වුවත් තුර්කියේ අන්කාරහි පිහිටි තානාපති කාර්යාලයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේවෙතත් ඇමරිකාවේ මිතුරු රටවල් ඇතුලු ලොව රටවල් කිහිපයක්ම මේ වන විටත් යුක්‍රේනයේ සිටින සිය රට වැසියන් යළි කැඳවමින් සිටිනවා.

POPULAR

Recent articles