මාධ්‍යවේදින්ට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකිමු – NMF

පසුගිය 31 වෙනිදා තම රාජකාරිය ඉටු කළ ජනමාධ්‍යවේදීන්ට එල්ල කළ සැළසුම් සහගත ප්‍රහාරය ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය (NMF) විසින් හෙලාදැක තිබෙනවා. එහි විධායක කමිටුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ආරක්ෂක අංශ සහ වෙනත් සිවිල් ඇඳුම්න් සැරසුන පුද්ගලයින් විසින් එම ප්‍රහාරය එල්ල කළ බවයි.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය (NMF) විධායක කමිටුව විසින් නිකුත් කළ සම්පුර්ණයෙන්ම මෙසේයි.

මිරිහාන ප්‍රදේශයේ පැවැති මහජන විරෝධතාවය සහ ඒ ආශ්‍රිතව සිදුවූ සිදුවීම් පිළිබදව අපගේ විශේෂ අවධානය යොමුව ඇත. විශේෂයෙන් එම සිදුවීම වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන්ට ඉතාම සැළසුම් සහගත ලෙස ආරක්ෂක අංශ සහ වෙනත් සිවිල් ඇඳුම්න් සැරසුන පුද්ගලයින් විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙම සිදු වීම ‍සත්‍ය තොරතුරු සමාජ ගත විම වැළැක්වීම සඳහා ඉතා සැළැසුම් සහගත ලෙස සිදු කරන ලද ප්‍රහාරයක් ලෙස අපි සළකමු. එමෙන්ම මෙතෙක් ඉතිහාසයේ මෙරට ජනතාව මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයට හා පීඩනයට මුහුණ දී සිටින මේ මොහොතේ එම පීඩනයට එරෙහිව නැගී සිටින ජනතාව මර්දනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගිනිමින් සිටින විවිධ පියවරයන් පිළිබඳවද අපගේ විශේෂ අවධානයට යොමුව ඇත. එමෙන්ම ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා මාර්ගවලින් පැහැදිළි වන්නේ අර්බුදයට විසදුම් ලබාදීම වෙනුවට, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ සහ අදහස් ප්‍රකාශණයේ මෙන්ම සාමකාමීව රැස්වීමේ හා විරෝධය පළ කිරීමේ ජනතාව සතු අයිතිය ආණ්ඩුව විසින් ඉතා වේගයෙන් පැහැර ගනිමින් සිටින බවයි. මෙම වර්ධනය වන තත්ත්වය පිළිබඳව ඉතාම සවිඥානිකව අවධියෙන් සිටින ලෙස අපි මේ රටේ පොදු මහජනතාවගෙන්, සිවිල් සංවිධානවළින් මෙන්ම දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර වළින්ද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු‍.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ට එල්ල කරන ලද මෙම මිලේච්ඡ ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසත් අපි ආණ්ඩුවට බල කර සිටිමු. එමෙන්ම ප්‍රජාතාන්ත්‍රික සමාජයක ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරන, මෙන්ම භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස සුරක්ෂිත කිරීම සහ තොරතුරු දැන ගැනීමේ මහජනයා සතු මූලික අයිතිය වෙනුවෙන් විශාලතම වැඩකොටස ඉටු කරන ජනමාධ්‍යවේදින්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ආණ්ඩුවට බල කරමු. එසේම ඔවුන්ගේ රාජකාරී බාධාවකින් තොරව පවත්වා ගෙන යෑමට අවශ්‍ය පරිසරය ඇති කරන ලෙස ද බල කරමු. 2005 -2015 කාල සීමාව තුළ මෙරට සිදුවු ලේවැකි මාධ්‍ය මර්දනයන් යළි සිහි ගන්වන මෙවැනි සිදුවීම් ගත් තැනම පරාජය කිරීමට භේදයකින් පෙරට එන ලෙස මෙරට සියළුම ප්‍රගතිශිළී මහජන බලවේගවළින් අපි දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

විධායක කමිටුව

ජාතික මාධ්‍ය සංසදය

POPULAR

Recent articles