“පවතින අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දෙන්න” – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

වර්තමානයේ රටේ පවතින අර්බුදය විසඳීමට නොහැකි නම් එම අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා. එසේ නොමැතිව රට අයාලේ යෑමට ඉඩ හැරීම මෙන්ම ජනතා අරගල හමුවේ සිදුවන්නේ පවතින අර්බුදය තවදුරටත් සංකීර්ණ වීම බවයි උන්වහන්සේ පවසන්නේ.

පසුගිය ආණ්ඩු සඳහා චෝදනා කරමින් මෙම අර්බුදය විසඳිය නොහැකි බවත්, සාමූහිකව ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ මෙය විසඳා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කියනවා.

“මේ මොහොත වන විට මේ රටේ ජනතාව විශාල පීඩනයකට පත්වෙලා ඉන්නවා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ. තෙල් නෑ, ගෑස් නෑ, විදුලිය නෑ, බඩු මිල අහස උසට. මේ වගේ වෙලාවක භික්ෂූන් වහන්සේලා වන අපට මිනිස්සු කෑ ගහනවා. පසුගිය කාලේ කෑ ගහපු හාමුදුරුවරු කෝ කියලා. මම මේ ආණ්ඩුවට යෝජනාවක් කරන්න බලාපොරොත්තුවෙනවා.

ඒක තමයි රටේ ප්‍රශ්නයක් තිබෙනවා. සාමූහික වගකීමක් දරමින් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන කිසිදු සාකච්ඡාවක් ඇති වෙලා නෑ. ඊයේ පෙරේදා ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියනවා තෙල් තිබෙනවා ඕන තරම්, බවුසර් නැවත හැරිලා යනවා කියලා. සිපෙට්කෝ ආයතනය කියනවා 30 සහ 31 තෙල් නෑ, කරුණාකරලා පෙට්‍රල් ෂෙඩ්වලට එන්න එපා කියලා. මොකක්ද මේ බහුබූතේ.

දැන් ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නෑ, අගමැතිවරයා ගැන විශ්වාසයක් නෑ, කැබිනට් එක ගැන විශ්වාසයක් නෑ, මන්ත්‍රීවරුන් ගැන විශ්වාසයක් නෑ. මෙහෙම ආරාජික වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. මේක විශාල අවාසනාවන්ත තත්ත්වයක්. මේ තෙල් ටික ගෑස් ටික බෙදාගන්න බෑ කියන අවිශ්වාසය වෙනුවට මේ ප්‍රශ්නය කළමණාකරනය කරලා පෙන්නුවොත් මිනිස්සුන්ට යම් විශ්වාසයක් ඇතිවෙයි මේ අර්බුදය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.

මේක කරන්න නම් හොඳ වැඩකාරයෙක් අපිට අවශ්‍යයි. අපිට පේනවා දැන් රටඅයාලේ යනවා. සියලු දෙනා පාරට බැහැලා අරගල කරන්න යෑම ඇතුලේ මේ ප්‍රශ්නය තවත් ගැටුම් බවට පත්වෙලා සංකීර්ණ තැනකට පත්වෙනවා. නිශ්චිත වැඩපිළිවෙළක් නෑනේ. සමහර ඇමතිවරු ඇවිත් කියනවා අවුරුදු වෙනකොට කරන්ට් එකත් නෑ කියලා. කරන්න බැරි නම් කියන්න. එහෙම නැතිනම් කරන විදිය කියන්න. බැරිනම් කරන්න බැරිවුන් පැත්තකට වෙලා කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න” යනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරනවා.

POPULAR

Recent articles