උතුරේ ජනතාවට යුද සමයේ හා ඉන් පසු සිදුවූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා යාපනයේදී විරෝධතාවයක්

උතුරේ දෙමළ ජනයාට යුද සමයේ සහ ඉන් පසු කාලයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස රජයට බල කරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සංවිධානයෙන් ඊයේ (23) පැවැති විරෝධතාවය සදහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම නියෝජනය කරමින් ජනතාව එක්ව සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

විරෝධතාවයෙන් පසු ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සාමය හා තිරසාර සංවර්ධනය සදහා වූ ජනතා සංවාදයේ සම්බන්ධීකාරක ඇන්තනී ජේසුදාසන් මාධ්‍ය වෙත සදහන් කළේ සංක්‍රාන්තික යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ආණ්ඩුව මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවයි.

“යුද්ධය ඉවර වෙලා අවුරුදු 13 ක් ගතවෙලා. ඒත් මේ වෙනකම්ම සංක්‍රාන්තික යුක්තිය ඉටුකිරීම සදහා ආණ්ඩුව ක්‍රියාත්මක උනේ නෑ” යි ඔහු පවසනවා.
ජාත්‍යන්තරය ගත් තීන්දු වලට අවනත නොවී ජාත්‍යන්තරයත් රවව්ටමින් මේ ආණ්ඩුව ක්‍රියාත්මක වන බවට චෝදනා කළ ඇන්තනී ජේසුදාසන් වැඩි දුරටත් සඳහන් කළේ විරෝධතාවය සදහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම නියෝජනය කරමින් ධීවරයන්, ගොවීන්, කම්කරුවන් සහ කාන්තාවන් එක්ව සිටි බවයි.

යාපනය නගරයෙන් ආරම්භ කළ විරෝධතා පෙළපාලිය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දක්වා පැමිණ එහිදී ද උද්ඝෝෂණයක් දියත් කිරීමට විරෝධතා කරුවන් කටයුතු කර තිබුණා.

තම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත භාර දීමට ඔවුන් කටයුතු කර ඇති අතර පොලිස් නිලධාරියකු මාර්ගයෙන් ආණ්ඩුකාරවරයා විරෝධතාකරුවන්ට දැනුම් දී ඇත්තේ සාකච්ඡාවක් සදහා ලබන සතියේ දිනයක් ලබා දෙන බවයි.

අවනැත් වු ජනතාවට නැවත ඉඩම් ලබාදීම, අතුරුදහන් වුවන්ගේ පවුල් සදහා යුක්තිය ඉටුකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, විවිධ දෙපාර්තමේන්තු නමින් දිගින් දිගටම සිදු කරන ජනතාවගේ ඉඩම් අත්පත්කරගැනීම් වහා නතර කිරීම විරෝධතාකරුවන්ගේ මුලික ඉල්ලීම් වෙනවා.

POPULAR

Recent articles