“මරිපෝල් නගරය තුළ රුසියාව යුද අපරාධ සිදුකර තිබෙනවා” – යුක්රේන ජනපති

යුක්රේනයේ මරිපෝල් නගරය තුළ රුසියානු හමුදාව හා යුක්රේන හමුදාව අතර මේවනවිට දරුණු ගැටුම් ක්‍රියාත්මකවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ රුසියානු හමුදාව විසින් මරිපෝල් නගරයේ ඉලක්ක වෙත දරුණු ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

සිවිල් වැසියන් රැසක් නගරයෙන් පිටවීමට නොහැකිව ගැටුම්වලට මැදිව සිටින අතර ඔවුන් මේවනවිට නගරයේ පොදු ස්ථානවල රැඳී සිටිනවා. එලෙස සිවිල් වැසියන් 400 දෙනෙකු පමණ සැගව සිටි මරිපෝල් නගරයේ පාසැල් ගොඩනැගිල්ලක් වෙත ද රුසියානු හමුදාව අද ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් එම ගොඩනැගිල්ල විනාශ වී ඇති බව වාර්තා වනවා.

කෙසේ වුවද සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා යුක්රේන හමුදාව හා සහන කණ්ඩායම් අඛණ්ඩ මෙහෙයුමක නිරත වී සිටිනවා.

මරිපෝල් වරාය නගරය ඉලක්ක කර රුසියාව එල්ල කරන ප්‍රහාර සියවස් ගණනාවක් පුරා සිහිපත් කෙරෙනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ප්‍රකාශ කර තිබෙනවා.

යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කරන්නේ මරිපෝල් නගරය තුළ රුසියාව යුද අපරාධ සිදුකර ඇති බවයි.

මේ අතර රුසියානු හමුදාව විසින් මරිපෝල් නගරයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් රුසියානු නගරවලට රැගෙන ගොස් ඇති බව ඇතැම් නිල නොවන වාර්තා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles