රුසියාවට තේ අපනයනය කිරීම සම්පුර්ණයෙන්ම නවතියි

රුසියාව සහ යුක්‍රේනය අතර දැනට පවතින යුදමය වාතාවරණය නිසා එම රටවලට තේ අපනයනය සම්පුර්ණයෙන් නතර කළ බව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. රුසියාවට ශ්‍රී ලංකා තේ අපනයනය තුළින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 150ක ආදායමක් මෙරටට ප්‍රේෂණය කෙරෙනවා.

එම සංගමයේ හිටපු සභාපති සහ කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න ප්‍රකාශ කළේ, රුසියාවට සහ යුක්‍රේනයට තේ අපනයනය කිරීමෙන් මුදල් ලබාගැනීම සම්බන්ධව ගැටලු සහගත තත්ත්වයක් මතුවීමත්, අදාළ නැව් සමාගම් තේ අපනයනය ප්‍රතික්ෂේප කිරීමත් නිසා මෙලෙස තේ අපනයන කටයුතු නතර කර ඇති බවයි.

මේ හේතුවෙන් එම රටවලට තේ අපනයනය කරන අපනයනකරුවන් උග්‍ර මුල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවත් දැනට සුදානම් කර ඇති තේ තොග අපනයනය සඳහා නව ගැනුම්කරුවන් සොයා ගැනීමට සිදුව ඇති බවත් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න සඳහන් කරනවා .

“අපි යුක්‍රේනයට නම් ඒ දවස්වලම නැවැත්තුවා. දැන් රුසියාවට යන එකත් මෙහෙන් කන්ට්‍රේනර් භාරගන්නේ නෑ. ඒ අය කියනවා ඒ අය දන්නේ නැහැ කියලා. හැබැයි අපිට තියෙනවා ෂිප්මන්ට් මඟ තියෙන ඒවා. අපි දැනට යවලා අතරමැද තියෙන ඒවා තියෙනවා. ඒවා තාම කියනවා රුසියාවට භාරදෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඉතින් නිශ්චිත දවසක් නෑ. හැබැයි ඉතින් අපිට තාම බැහැයි කියලා නෑ. අපි විශ්වාස කරනවා රුසියාවට ඩිලිවර් වෙයි කියලා.” ලෙස වෙළඳුන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියා.

එම රටවල දැනට පවතින යුදමය තත්ත්වය හේතුවෙන් වෙනත් අසල්වැසි රටක් හරහා ශ්‍රී ලංකා තේ සඳහා මුදල් ලබා ගැනීමට කලින් සැලසුම් කළ ද රුසියාවේ බැංකු පද්ධතිය සමග ගණුදෙනු සිදුනොකරන ලෙසට යුරෝපිය හා බටහිර රටවලට මුල්‍යමය මෙන්ම ආර්ථික සම්බාධක පැනවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබෙනවා.

වාර්ෂිකව ශ්‍රී ලංකා තේ කිලෝ ග්‍රෑම් මිලියන 27ක ප්‍රමාණයක් රුසියාවට අපනයනය කිරීමෙන් 3වැනි තැන හිමිව ඇති අතර යුක්‍රේනයට වාර්ෂිකව තේ කිලෝ ග්‍රෑම් මිලියන 3ක ප්‍රමාණයක් අපනයනය කෙරෙනවා.

POPULAR

Recent articles