“පීඩා විඳින මිනිසුන් ගැන බරපතළ කනගාටුවක් තියෙනවා” – ඩලස් අලහප්පෙරුම

කැබිනට් මණ්ඩලයේම අයගේ විවිධ සැලසුම් සහගත නොවන ප්‍රකාශ කිරීමත් සමග දේශපාලකයාගේ විශ්වසනීයභාවය පිළිබඳව සමාජයට ගැටලුවක් මතුවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“ඉතාම අමාරු ආර්ථික අවපාතයක අපි සියලුදෙනාම ඉන්න බව රහසක් නෙමෙයි. 69 ලක්ෂයක නියෝජිතයින් විදියට පාර්ලිමේන්තුව ඇතුළේ ඒ පිළිබඳව තියෙන වේදනාව, පීඩනය වැඩිපුරම දැනෙන කණ්ඩායමේ කොටස්කරුවෝ, නියෝජිතයෝ අපි. ප්‍රශ්නයක් නෑ… එහෙම ගැටලුවක් නෑ… කියලා මිනිස්සුන්ට තවත් අපහාස කරන්න කිසිලෙසකින්වත් අපි සුදානම් වෙන්නේ නෑ.

අපේ රට තුළ පීඩාකාරී සාධක ඉතාම ඉහළ අගයක් ගන්නා බව සැඟවිය යුතු නෑ. සඟවන්න අපි උත්සහ ගන්නෙත් නෑ. මේ සංවේදීභාවය ගිලිහෙන්න එක් හේතුවක් තමා අපේම දේශපාලනඥයෝ සමහරවිට කැබිනට් මණ්ඩලයේම අය විවිධ සැලසුම් සහගත නොවන ප්‍රකාශ කිරීමත් එක්ක. දැන් විදුලිය කැපීම සම්බන්ධයෙන් අපේ පාර්ශවවලින් සිදුවු යම් යම් ප්‍රකාශ එක්ක දේශපාලකයාගේ විශ්වසනීයභාවය පිළිබඳව සමාජයට ගැටලුවක් මතුවෙලා තියෙනවා. අපි ගනු ලැබූ තීන්දු පිළිබඳව ඒ තීන්දු ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීම සම්බන්ධව, ප්‍රතිපත්ති සම්පාදනයේ යම් ප්‍රමාදයක් තියෙනවා නම් ඒ සියල්ලටම වගකීම අපි ගන්නවා. මිනිසුන් පීඩා විඳිනකොට ඒකට ලැජ්ජාවක් නෙමෙයි බරපතළ කනගාටුවක් තියෙනවා.” ලෙස අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියා.

POPULAR

Recent articles