“සාගර කාරියවසම් මැතිතුමා ජීවතුන් අතර සිටියානම් මොන ජංජාලයක් නටයි ද කියලා කාටවත්ම හිතාගන්න බෑ” – උදය ගම්මන්පිල

ලංකා ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල වැඩි කිරිම පසුගිය සිකුරාදා සිදු වෙද්දී පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ජීවතුන් අතර සිටියා නම් ගාමිණි ලොකුගේ ඇමතිවරයාට ඉල්ලා අස් විය යුතු යැයි දැනුම් දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ඇතැයි ඉවත් කළ අමාත්‍ය, පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.

“ලංකා ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල වැඩි කිරිම පසුගිය සිකුරාදා සිදුවුණා. පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා අද ජීවතුන් අතර සිටියා නම් එතුමා අනිවාර්යෙන්ම මා හිතමිත්‍ර ගාමිණි ලොකුගේ ඇමතිතුමාට ඉල්ලා අස් විය යුතු යැයි දැනුම් දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා.

මම බලශක්ති ඇමති ධුරය දරන කාලෙ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නිර්දේශය මත රුපියල් 7කින් ඩීසල් වැඩි කළහම මට වහාම ඉල්ලා අස්වෙන්න යැයි පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා දැනුම් දුන්නා නම් රුපියල් 55 කින් මිල වැඩි කරද්දී එතුමා ජීවතුන් අතර සිටියා නම් මොන ජංජාලයක් නටයි ද කියලා කාටවත්ම හිතාගන්න බෑ.

ඒ වගේම මෙවර සිදු වුණු දැවැන්ත ඉන්ධන මිල වැඩි කිරීමෙන් සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි දැවැන්ත කම්පනයක් ඇති කරලා තියෙනවා. ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස වැඩිකිරීමට බලපෑ එකම හේතුව ලෝක වෙළඳ පොළේ මිල වැඩි කිරීම නෙමෙයි.

එක් ප්‍රධාන හේතුවක් තමයි විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා රුපියල වසරකට අධික කාලයක් කෘතිමව අල්ලගෙන සිටීම. ඒ නිසා දැවැන්ත ලෙස රුපියල අව ප්‍රමාණය කරන්න සිදුවීම. රුපියල අවප්‍රමාණය උනේ එක පැත්තකින් විදේශ විනිමය සම්පත් නිසි ලෙස කළමනාකරණය නොකිරීම, රටේ උද්ධමනයට සරිලන පොලී අනුපාතයක් පවත්වා නොගැනීම වගේම අත්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ සීමා නොකිරීම වැනි කාරණා ගණනාවක් නිසා.

නඩු දමාවි, හිරේ දමාවි, සමහර විට මරා දමාවි. අපව මරා දැමුවත් අපේ සටන නම් මරා දමන්නට අප ඉඩ තබන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ කියන අවලස්සන අමෙරිකානුවා යලි අමෙරිකාවට යන තුරුම අපේ සටන නවත්වන්නේ නැහැ. යන්නේ නැත්නම් අපි එලවනවා.

මේ පටන් ගත්තා විතරයි. අපි අභ්‍යන්තර සටනක් කළා. එය සාර්ථක වුණේ නැහැ. අපි ජනතාව සමඟ එකතුවෙලා ජනතාව පෙළගස්වනවා. ජනතාව පෝලිම් වල දුක් විඳින්නේ අවශ්‍ය හේතුවක් මත නෙවෙයි. හිතාමතා ආර්ථිකය කඩා වැට්ටවීමේ උපායන් නිසා. මේ ඇතිවුණු තත්වයක් නොවෙයි ඇති කළ තත්වයක්.

ආණ්ඩුව මතක තියාගන්න ඕන දේ තමයි පැනඩෝල් පෙත්තෙන් හොඳ කරගන්න තියන අමාරුව කල් මරලා මරණාසන්න උනාම පැනඩෝල් පෙති පොවල හරියන්නේ නෑ. ඒ නිසා සමහර වෙලාවට ලෙඩාව දොස්තර ගාවට අරන් ගියා ම දොස්තර කියනවා එදා මං කිව්ව බෙහෙත් දැන් දීල වැඩක් නෑ දැන් ලෙඩා මැරෙනවා අපිට කරන්න විකල්පයක් නෑ. නමුත් ප්‍රමාද වී හෝ අපේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වීම ගැන අපි සතුටු වෙනවා”යි ඉවත් කළ අමාත්‍යවරයා පවසනවා.

POPULAR

Recent articles