ඉන්දීය මහ කොමසාරිස්ගෙන් උතුරේ ධීවරයින් හා ඔවුන්ගේ පවුල් වෙත ආධාර

උතුරු පළාතේ ධීවරයන් සහ ඔවුන්ගේ පවුල් ස‍‍ඳහා ආධාර වැඩසටහනක් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන අයගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දී සිකර තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත්‍රික්කවල පවුල් 1200කට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිමිව තිබුණා. සමාරම්භක අවස්ථාවේදී යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන්ට මෙම ද්‍රව්‍ය බෙදා දුන් අතර උතුරු පළාතේ වෙනත් ප්‍රදේශවල ජනතාවට ඉදිරි දිනවලදී මෙම ද්‍රව්‍ය බෙදා දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙහෙදී ප්‍රකාශ කළේ ඉන්දියාව ශ්‍රී ලංකා ජනතාව පිළිබඳ සැලකිලිමත් වන සහෝදර රටක් බවයි. ඉන්දියාව ඉදිරියේදීත් මෙවැනි මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කරනු ඇති බවයි. ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් දෙරටෙහිම ධීවර ප්‍රජාව විසින් මුහුණ දෙනු ලබන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට එක්ව කටයුතු කරන බව ඔහු කියා තිබෙනවා. සාම්ප්‍රදායන් ජීවමානව පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගී වීමට ඉන්දීය බැතිමතුන්ට පහසුකම් සලසාදීම සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඇතුළු ශ්‍රී ලංකා නායකත්වයට සිය ස්තූතිය මහ කොමසාරිස්වරයා විසින් පළ කළා. මානුෂීය ආධාර වැඩසටහන සඳහා ඉන්දියානු රජයට ස්තූතිය පළ කළ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඉන්දීය බැතිමතුන් දහස් ගණනක් ලබන වසරේ මංගල්‍යය සඳහා සහභාගී වනු ඇතැයි ප්‍රකාශ කර තිබෙනවා.

මහ කොමසාරිස්වරයා භග්වාන් මහාවීර් වික්ලාංග් සහායත සමිතිය (BMVSS) විසින් පවත්වනු ලබන කෘත්‍රිම පාද සවි කිරීමේ කඳවුරක් ද ආරම්භ කළ බව වාර්තා වෙනවා. මෙම ආයතනය කායික ආබාධ පවතින පුද්ගලයන් සඳහා කෘත්‍රිම පාද සහ වෙනත් ඒ ආශ්‍රිත සහය සපයන ලොව විශාලතම සංවිධානයක්. ඉන්දීය රජයේ සම්පූර්ණ සහයෝගය යටතේ පවත්වනු ලබන මෙම කඳවුර යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හා එක්ව සංවිධානය කර එකක්. යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

POPULAR

Recent articles