“කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ සමාජ මාධ්‍ය ජාලා තහනම් කළ යුතුයි” – අර්ජුන රණතුංග

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සමාජ මාධ්‍ය පරිහරණය තහනම් කළ යුතු බව හිටපු ටෙස්ට් හා එක්දින ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග ඊයේ (08) ‘දිවයින’ පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ ක්‍රීඩකයින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත කාල පරිච්ඡේදය තුළ තාවකාලිකව මෙම තහනම සිදුකළ යුතු බවයි.

ඇතැම් ක‍්‍රීඩකයන්ගේ කළමනාකරුවන් නොහොත් ඒජන්තවරුන් තම තමන්ගේ ක‍්‍රීඩකයන් ප‍්‍රවර්ධනය කිරීම සඳහා විශාල වියදමක් දරමින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඇතැයිද අර්ජුන රණතුංග මෙහිදී පවසා තිබෙනවා.

මුදල් ගෙවා සමාජ මාධ්‍ය තුළ ජනප‍්‍රිය කරවීම ක‍්‍රීඩා කෞෂල්‍යය ඉහළ යෑමට හේතුවක් නොවන බව කී අර්ජුන රණතුංග එහෙයින් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සාධාරණ නොවන එහෙත් ආයෝජනාත්මක එවැනි තීන්දු ගත යුතුව ඇති බවත් කියා සිටිනවා.

තමා ක‍්‍රිකට් පරිපාලනය තුළ සිටියේ නම් අනිවාර්යයෙන්ම මෙම තීරණය ක‍්‍රියාත්මක කරන බවත් ඔහු පවසනවා.

එසේම තමා ඉන් ඔබ්බට ගොස් ක‍්‍රීඩකයන්ගේ මානසික මට්ටම් බිඳ වැටෙන සේ ඇතැම් අදහස් පළ කරන ක‍්‍රීඩාලෝලී සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන්ගෙන් එවැනි දෑ නොකරන මෙන් ගෞරවනීය ඉල්ලීමක් සිදු කිරීමට අමතක නොකරන බවත් අර්ජුන රණතුංග කියා සිටිනවා.

කෙසේ වුවද මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව විනාශ වීමට ක‍්‍රිකට් පරිපාලනය මෙන්ම ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිටින ඒජන්තවරුන් නොහොත් කළමනාකරුවන්ද සෘජුව වගකිව යුතු බවට ඔහු චෝදනා කරනවා.

මෙම ඒජන්තවරුන් මුදල් ඉපයීම මුඛ්‍ය පරමාර්ථය කර ගනිමින් දිගින් දිගටම කටයුතු කිරීම තුළ ක‍්‍රීඩාව කබලෙන් ළිපට වැටී ඇති බව කියන අර්ජුන රණතුංග තවදුරටත් චෝදනා කරන්නේ මෙම ඒජන්තවරුන් තේරීම් කමිටුවට මෙන්ම ක‍්‍රිකට් පරිපාලනයට දැඩි බලපෑම් එල්ල කරමින් කටයුතු කරන බවයි.

එසේම ඇතැම් ක‍්‍රීඩකයන් ආගම් ප‍්‍රචාරණය කිරීමේ මාධ්‍යයක් ලෙස ක‍්‍රිකට් ක‍්‍රීඩාව යොදාගෙන ඇති බවත් ඔහු ‘දිවයින’ පුවත්පතට පවසා තිබෙනවා.

එමෙන්ම ඇතැම් ක‍්‍රීඩකයන් පිටිය තුළ ඕනෑවටත් වඩා සිදුකරන ක‍්‍රියාකාරකම් තුළ ඒ පිළිබඳ ඇති සැකය තවත් තීව‍්‍ර කරවන්නක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

POPULAR

Recent articles