රාජ්‍ය ආයතනවල විදුලිය හා ඉන්ධන භාවිතය සීමා කිරීමේ තීරණයක්

ඩොලර් හිඟය හමුවේ රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා නිර්දේශ ඇතුළත් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබූ බවයි කියන්නේ.

නිල රථ හිමි මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සදහා දැනට ලබාදෙන නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම අත්හිටුවීමට ද එමගින් යෝජනා කර තිබෙනවා. පිටපළාත්වල නිලධාරීන් රැස්වීම් සහ සාකච්ඡා සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලවලට කැඳවීම සීමා කරන ලෙසත්, අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් ඔවුන් කැදවීම හා එසේ කැඳවන දිනවලදී සම්පූර්ණ දිනයම රැස්වීම් කිහිපයක් සදහා භාවිත කරන ලෙසත් එමගින් පවසා ඇත්තේ.
අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පිටපළාත් නිලධාරීන් කොළඹට පැමිණීම අවශ්‍ය වන්නේ නම්, තනි නිලධාරීන් එක් එක් වාහනය භාවිත කිරීම වෙනුවට නිලධාරී කණ්ඩායමක් එකම වාහනයකින් කැදවන ලෙස ඊට ඇතුළත් වෙනවා.

හැකි සෑම විටම සාකච්ඡා හා රැස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත් එම උපදෙස් වලට ඇතුළත්.

රැස්වීම් සහ සාකච්ඡා වාහන තදබදය අඩු වේලාවලදී සංවිධානය කරන ලෙසත් තැපැල් රැගෙන ඒම, ලිපි බෙදාහැරීම් ආදී කටයුතු සඳහා කාර්, වෑන් වෙනුවට යතුරුපැදි, පා පැදි හා ත්‍රීරෝද රථ ආදීය යොදවන ලෙසත් උපදෙස්වල ඇතුළත්.

ඒ අතර සෞඛ්‍ය, ආරක්ෂක හා අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා තෝරාගත් ඉන්ධනහල්වල ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යමින් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් හා පොලිසිය අධීක්ෂණය යටතේ ඒවා ලබාදෙන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

මේ අතර රාජ්‍ය ආයතනවල ප ව 2:30 සිට පස්වරු 4.30 දක්වා පැය දෙකක කාලයක් වායුසමීකරණ යන්ත්‍ර අක්‍රීය කරන අතර වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට හැකි සෑම විටම විදුලි පංකා භාවිත කරන ලෙසයි පවසා ඇත්තේ.

නියමිත කාර්යාල වේලාවෙන් පසුව කාර්යාල වසා තැබීමට පියවර ගනිමින් සති අන්ත දිනවල අත්‍යවශ්‍ය හා කල්දැමීම අපහසු අවස්ථාවලදී හැර අනෙකුත් සෑම අවස්ථාවකදීම කාර්යාල වසා තබන ලෙස අදාළ උපදෙස් වල ඇතුළත් ව තියෙනවා.

විදුලි සෝපාන භාවිතය අඩු කර හැම හැකි සෑම විටම පියගැටපෙළ පාවිච්චි කරමින් අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලෙසයි දැනුම් දී ඇත්තේ.

පළාත් පාලන ආයතන මගින් පාලනය වල වීදි ලාම්පු අනවශ්‍ය අවස්ථාවලදී නිවා දමන ලෙසත්, ආධි ආරක්ෂිත සහ ආරක්ෂිත කලාපවල පිහිටි මාර්ග වල හැර අනෙකුත් සියලුම මාර්ගවල තාවකාලික පිළියමක් ලෙස විදුලි පහන් නිවා දමන ලෙසත් එම උපදෙස් වලින් දැනුම් දී තිබෙනවා.

POPULAR

Recent articles