“ගබ්සා කිරීම සඳහා අවශ්‍ය නීති ගෙන ඒමට කතිකාවතක් ඇති කළ යුතුයි” – අධිකරණ ඇමති

ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමා පිළිගන්නේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේදී අද (08) පැවසුවා.

සමූහ දූෂණයට ලක්වී ගැබ් ගත් අවස්ථාවලදී ගබ්සාව සඳහා ඇතැම් රටවල් දැනටමත් නීතිමය අවසරය දී ඇතැයිද අධිකරණ අමාත්‍ය වරයා එහිදී සඳහන් කළා. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

සමූහ දූෂණයට ලක්වී ඇති දැරියන්ට දාව උපදින දරුවන් යම් යම් කොන්දේසි වලට යටත්ව ගබ්සා කිරීම සඳහා අවශ්‍ය නීති ගෙන ඒමට කතිකාවතක් ඇති කළ යුතු බව පැවසූ අධිකරණ අමාත්‍ය වරයා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනා සලකා බැලීමට සූදානම් බවද සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර එම ප්‍රශ්නය මතු කරමින් මෙහිදී පැවසුවේ සමූහ දූෂණයට ලක් වනදැරියන්ට දාව උපදින දරුවන් (කලලය) ඉවත් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නැති වීම නිසා ඇතැමුන් සියදිවි හානි කරගත් අවස්ථාද දක්නට ලැබෙන බවයි.
එවැනි අවස්ථාවලදී ගබ්සාව සඳහා නීතිමය ප්‍රතිපාදන සැලසීම වැදගත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

POPULAR

Recent articles